hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 19, පෙ.ව. 12:06



එක ගමකට එක භෝගයක් පමණක් වගා කිරීමේ වැඩසටහන මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ, අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ අවසන් නැකත වන “පැළ සිටුවීමේ නැකත’’ යෙදී තිබුණු ඊයේ (18 ) “නැකතට පැළයක්’’ සිටුවීමේ ජාතික උත්සවයේදීයි.

මෙම උත්සවය බත්තරමුල්ල, කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වූ අතර, නැකත යෙදී තිබුණු පෙරවරු 10.16ට ඇමැතිවරයා විසින් අමාත්‍යාංශ භූමියේදී පැළයක් රෝපණය කිරීමට කටයුතු කළා.

එම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති කාදර් මස්තාන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරුන් සහභාගි වූහ.

ඇමැතිවරයා කියා සිටියේ, නැකතට පැළයක් රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීව මේ වසරේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු ලක්ෂයක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙවතු 30,000 ක්ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මීට අමතරව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පුවක් පැළ ලක්ෂ 15 ක්ද කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් තේ පැළ ලක්ෂ 13 ක්ද පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් පොල් පැළ ලක්ෂයක්ද දිවයින පුරා වගා කිරීමට කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළා.

“අපි මෙතෙක් කාලයක් රටපුරා සිටවපු පැළ, ගස් බවට පත්වෙලා නෑ. නමුත්,මම ඉකුත් 2020 වසරේ සිට අලුත් අවුරුද්දට පැළයක් සිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

මෙරට වනාන්තර ප්‍රමාණය සියයට 29.2 ක්. ජාත්‍යන්තර එකඟතා අනුව එය සියයට 30 ක් දක්වා ඉහළ දැමිය යුතුයි.

එය දශම ගණනක් වූවත්,හෙක්ටයාර් වශයෙන් ගත්විට හෙක්ටයාර් 16,000 ක්.

කුමන හෝ පැළයක් සිටුවනවාට වඩා ඵල දරන පැළයක් සිටුවීමෙන් රටට ආර්ථිකමය වශයෙන්ද වැදගත් වෙනවා.

මෙලෙස සිටුවන පැළ ගැන වසර පුරා වරින් වර සොයා බැලීමද සිදු කෙරෙනවා.

අපේ සැලැස්ම ඉදිරි කාලයේදී පලතුරු ආනයනය නොකර රටට අවශ්‍ය පලතුරු ප්‍රමාණය රට තුළම වගා කිරීමයි.’’යැයිද ඇමැතිවරයා අවධාරණය කළා.

ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ, මේ වසරේදී තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 150 ක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: