hit counter

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි 11, ප.ව. 1:33



මල්වානේ ප්‍රකට මන්දිරයටත් වඩා විශාල සුපිරි මන්දිරයක් කඩවත ප්‍රදේශයේ පවතින බවත්, එවැනි ඇමතිවරුන්ට අයත් රහස් නිවාස තවත් 35ක් පමණ අනාවරණය කර ගැනීමට ඇති බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, කඩවත ප්‍රදේශයේ පිහිටි මෙම මන්දිරය සඳහා මේ වන විටත් පොලිස් ආරක්ෂාව සපයා ඇති බවයි. 

මෙම නිවාස ඉදිකිරීම සඳහා මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් කවුරුන්ද යන්න සහ ඒ වෙනුවෙන් ඔවුන් ලබාගත් වරප්‍රසාද පිළිබඳව සියලු තොරතුරු සාක්ෂි සහිතව ඉදිරියේදී රටට හෙළි කරන බව ද ඔහු පැවසීය.

මෙම මන්දිරයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඉඟියක් ලබා දෙමින් සුගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියේ, මෙහි හිමිකරු සාමාන්‍ය ඇමතිවරයකුට වඩා ඉහළ තනතුරක් දරන, රටේ ප්‍රධාන පුරවැසියෙකු ලෙස සැලකිය හැකි අයෙකු බවයි.

එමෙන්ම මොහු “ඩබල් පොකට්” සහිත කමිස අඳින රජයේ ප්‍රබලයෙකු බවත්, ඔහු ඇතැම් දිනවල පෑලියගොඩ ප්‍රදේශයේත් තවත් දිනවල කඩවත පිහිටි මෙම නිවසේත් රැඳී සිටින බවත් ඔහු අනාවරණය කළේය.

පසුගිය වසර එකහමාරක කාලය තුළ රටේ භාණ්ඩාගාරය මංකොල්ලකමින් සිදු කළ විවිධ අක්‍රමිකතා පිළිබඳව ද මෙහිදී චෝදනා එල්ල විය. 

විශේෂයෙන්ම බාල ගල් අඟුරු ගෙන්වීම, වැඩි මිලට තෙල් මිලදී ගැනීම සහ කන්ටේනර් මගින් සිදු කළ ජාවාරම් හරහා උපයා ගත් ධනය මෙවැනි මන්දිර තැනීමට යොදවා ඇති බවට ඔහු චෝදනා කළේය.

මෙම දූෂිත ගනුදෙනු හා සම්බන්ධ සියලු දෙනාට ඉදිරියේදී හැංගෙන්නට තැන් නැති වන බවත්, ඉතා ඉක්මනින් මෙම නිවාස පිහිටි ස්ථාන වෙත ගොස් ඒවා මහජනයාට නිරාවරණය කිරීමට කටයුතු කරන බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: