hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 05, පෙ.ව. 12:06



දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර පිටපතක් මුද්‍රණය කරගත හැකි වේ.

ඒ නිසා එම අයදුම්පත ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන අතර එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව(Online) ලබාගත හැකි පරිදි සකස් කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් බදු අංකයක් සඳහා වන අයදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදයක් (PIN) අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇති ඊමේල් ලිපිනයට ලැබෙන බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ බදු අංකය ලබාගැනීමේදී ඒ සඳහා වන ලියාපදිංචි අයදුම්පතක් සම්පූර්ණ කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2 වන මහලේ ප්‍රාථමික ලියාපදිංචි අංශයට හෝ යම් අයකුට ආසන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට ඉදිරිපත් කිරීමට හැකි බවයි පැවසෙන්නේ.

මාර්ගගතව එනම් ඊ සේවාව හරහා බදු අංකය ලබාගැනීම සඳහා ලියාපදිංචිවීමේදී ජාතික හැඳුනුම්පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි PDF පිටපතක් උඩුගත (අප්ලෝඩ්) කළ යුතු ද වනවා.

ජාතික හැඳුනුම්පතේ ඇති ලිපිනයෙහි සහ දැනට පදිංචි ලිපිනයෙහි වෙනසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක් ද උඩුගත (අප්ලෝඩ්) කිරීමට කටයුතු කළ යුතු බවයි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.

2024 ජනවාරි 01 දින සිට සෑම වයස අවුරුදු 18 ට වැඩි අයකු විසින්ම බදු අංකයක් ලබාගැනීම රජය මගින් අනිවාර්ය කර ඇති අතර, මේ අංකය ගත් පමණින් කෙනෙක් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවන අතර ඒ සඳහා බැඳීමක් ඇති වන්නේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් පමණක් බවයි එහි සඳහන් වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: