hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 16, ප.ව. 5:02



දැනට ලියාපදිංචිව ඇති එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර බෙන බව වාර්තා වනවා.

මේ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධයෙන් තදින්ම කටයුතු කරන බවයි.

එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් මෙරටට ගෙන්වා වරායේ හා ගුවන් තොටුපළ භාවිතයට ගෙන ඇති වාහන සහ රේස් තරග සඳහා යෙදවීමට ගෙන්වා ගෙන ඇති දහස් ගණනක වාහන ප්‍රමාණයක් පවතින බවත් ඒවා ලියාපදිංචි කිරීමකින් පසුව භාවිතයට ගැනීම අනිවාර්ය කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට වාහන අසූ තුන් ලක්ෂයක් ලියාපදිංචිව ඇතත් වාර්ෂිකව වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනෙන්නේ වාහන පනස් පන් ලක්ෂයක් පමණක් බවත් ඒ බව වාහන ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට අවශ්‍ය දුම් සහතික ලබා ගැනීමෙන් තහවුරු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් අවධාරණය කළේ ය.

ඒ හැරුණු විට ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට දුම් සහතික අවශ්‍ය නොවන විට හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික්, ඉඩම් වාහන මෙන්ම 1975 වසරට පෙර ලියාපදිංචි වූ වාහන ලක්ෂ පහක පමණ සංඛ්‍යාවක් භාවිතයේ තිබෙන බවත් ඒ අනුව සමස්තයක් වශයෙන් ගතහොත් වාහන ලක්ෂ හැට එකක පමණ සංඛ්‍යාවක් භාවිතයේ පවතින බවට අනුමාන කළ හැකි බවත් ප්‍රකාශ කළා.

මේ අනුව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, වාහන ලක්ෂ විසි එකකට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතින බවත් වසර ගණනාවක් පුරා ආදායම් බලපත්‍ර අලුත් කරගෙන වාහන ගැන තොරතුරු ලබා දෙන්නැයි පළාත් සභා යටතේ පවතින පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙත කොපමණ දැනුම් දීමක් කළත් කිසිම පළාත් සභාවක් එකී තොරතුරු ලබාදී නැති බවයි.

පළාත් සභාවලින් එම තොරතුරු ඉල්ලීමේදී ඒවා තොරතුරු තාක්ෂණ නියෝජිතායතයෙන් ලබාගත යුතු බවට පවසන බවත් තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයෙන් විමසීමේදී ඔවුන් තවමත් තොරතුරු ඒකරාශි කරගැනීමේ ක්‍රමවේදයක් සකස්කර නැතැයි පවසන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.

කෙසේ වෙතත් වාහන ලක්ෂ විසි තුනකට අධික සංඛ්‍යාවක් ගැන නිශ්චිත තොරතුරු නොමැති වීමත් අපරාධ සඳහා යතුරුපැදි ඇතුළු එවැනි වාහන යොදා ගන්නා බවට තොරතුරු හෙළි වීමක් නිසා වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන නැති සියලුම වාහන ලියාපදිංචියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමට අවධානය යොමුව ඇති බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අවධාරණය කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: