hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 22, පෙ.ව. 12:05



පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙරට ආර්ථිකය තවමත් ස්ථාවර නොවීම සහ ඒ සඳහා පහසුකම් සැලැසීමට ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව නොමැතිවීම යන කරුණු මත පදනම්ව එලෙස තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

එම නිලධාරියා ප්‍රකාශ කළේ, පුද්ගලික වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදල් ප්‍රමාණයක් සෑම වසරකම මෙරටින් පිටතට ගලා යනු ඇති බවයි.

කෙසේ නමුත් ලොරි, බස් සහ ට්‍රක් රථ මෙන්ම සංචාරය ක්ෂේත්‍රය සඳහා යොදා ගන්නා වෑන් රථ වැනි වාණිජ පදනමකින් යුත් වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ලබන මස සිට ඉවත්වනු ඇති බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

එනමුත් රාජ්‍ය අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම ආරම්භ වන්නේ ලබන වසරේ පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමෙන් පසුව බවයි ඉහළ පෙළේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මීට පෙර විද්‍යුත් වාහන සහ පුද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා මෙම වසර අවසානයේ සිට අවසර ලබා දීමට රජය සැලැසුම් කර තිබුණා.

නමුත් මෙයද ලබන වසර දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි ආරංචි අදාල ආරංචි මාර්ග තහවුරු කළේ ය. ආනයනය කරනු ලබන පුද්ගලික වාහන වලින් වැඩිම ප්‍රමාණය ත්‍රී රෝද රථ සහ යතුරු පැදි බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් පුද්ගලික වාහන ආනයනය ඉවත් කිරීම ලබන වසරේ මැයි හෝ ජූනි දක්වා ප්‍රමාද වනු ඇති බවයි එම ආරංචි මාර්ග ප්‍රකාශ වැඩිදුරටත් අවධාරණය කළේ.

600 සීසී සිට 800 සීසී දක්වා කාණ්ඩයට අයත් මෝටර් රථ පාලනයක් සහිතව ආනයනය කිරීමට රජය අවසර ලබා දෙනු ඇති බවත්, මුල් අදියරේදී බලයලත් නියෝජිතයන්ට සහ මව් සමාගම්වලට ඒ සඳහා අවසර ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ, වාහන ආනයනය ලබන වසරේ ආරම්භ වූ පසු වාහන අමතර කොටස් ආනයනය කර මෙරටදී වාහන එකලස් කරන සමාගම් සඳහා රජය ප්‍රමුඛතාව ලබා දෙනු ඇති බවයි.

වාහන ආනයනය කිරීම සඳහා අවසර ලැබී නැති වෛද්‍යවරුන්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බලපත්‍ර සඳහා අවසර ලබාදීම තීරණය කරනු ලබන්නේද ලබන වසරේදී බවත්, අවසරය ලබා ගැනීම සඳහා පෝලිමේ තිබෙන ආනයන බලපත්‍ර 10,000 සඳහා එකවර අවසර නොලැබෙනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එසේම අනෙකුත් වාහනද පාලනයක් සහිතව ආනයනය කරනු ඇති බවයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: