hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 අගෝස්‍තු 18, පෙ.ව. 10:57



බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළකර සිටියේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් රටේ සියලු ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට යාමේදී ඒ සඳහා විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් නොමැත.13 ට එහා ගිය බලය බෙදීමේ විසඳුමකට වුවද එළඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය විය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දැනටත් අන්තර්ගත වන අතර ඒ යටතේ රටේ සියළු ජනතාවට පිළිගත හැකි බලය බෙදීමකට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියළු දේශපාලන පක්ෂවල අදහස් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ “දෙබිඩි පිළිවෙත” රට ඉදිරියේ ප්‍රදර්ශනය කරමිනි.
ස්ථාවර ආර්ථිකයක් හා ඒකීය භාවය ගොඩනැගීමට රටේ සියලු ජන කොටස් අතර සාමය හා සංහිදියාව ගොඩනැගිය යුතුයි.රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීම සදහා සැමට පිළිගත හැකි බලය බෙදීමක් සිදු කළ යුතුයි. එමගින් සියලු ජනකොටස් මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එවිට සියලු ජනකොටස් අතර ශ්‍රී ලාංකික හැගීම ගොඩ නැංවෙනු ඇත.සියලු ජන කොටස් වලට පිළිගත හැකි බලය බෙදීමකින් ජාත්‍යන්තර විශ්වාසයද ගොඩනැංවිය හැකියි. ඒ පිළිබඳව අවම අවබෝධයක් නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මතයට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහසට බැහැර මතයක් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනුයේ කුමන පදනමක සිටදැයි පැහැදිලි කළ යුතුයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ලබන බවට එම පක්ෂයේ සුළු පිරිසක් විවිධ අදහස් පළකර තිබෙන අතර හැකිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි සෘජුව ඔවුන් විසින් රටට හෙළි කළ යුතුයි”
යැයිද මන්ත්‍රීවරයා පවසයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: