hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 28, ප.ව. 9:08



වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් බවත් මීට වසර 45කට පෙරද රොනීද මැල් මුදල් ඇමතිවරයාගේ කාලයේදී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

නමුත් මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා මුදල් වංචාවෙන්, දූෂණයෙන් තොරව ආයෝජනය කළ යුතු බවත් මීට වසර 20ක් 25ක් තිස්සේ සිදුවී ඇත්තේ මෙලෙස ලබා ගන්නා විදේශ ණය, ප්‍රදාන සහ දේශීය ණය මුදල් පවුල්වාදය තුළ සොරකම් කිරීම බවත් එනිසා අද ඇතිවී තිබෙන දුගීභාවය ඇතුළු ප්‍රශ්න රාශීයක් පැන නැගීමට එය හේතුවී ඇති බවත් ඒ මහතා අවධාරණය කළා.

වංචා, දූෂණ ඉවත් කිරීම සඳහා නව විධිවිධාන සහ එම දූෂණ වැලැක්වීමට නව වැඩපිළිවෙලක් අවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් පනවා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගැනීම වැරදි බවට ප්‍රකාශ කරන්නේ ආණ්ඩු නොකරපු පිරිසක් බවත් ආණ්ඩු කරන්න විදේශ මුදල් ලබා ගැනීමට අවශ්‍ය බව ඒ පිරිසටත් ආණ්ඩු බලය ලබා ගත් දවසට තේරුම් යනු ඇති බවත් ඔහු සඳහන් කළා.

මේ රට තිබුණු තත්වයට ගැනීමට තව වසර 10ක්වත් ගත වනු ඇති බවත් 2018 රට තිබුණු තැනට යළි ගොඩ නැගීමට මේවන විට උත්සාහ ගනිමින් සිටින බවට ආර්ථික විශේෂඥයින් සඳහන් කළ බවත් පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා විශාල සංචාරකයින් පිරිසක් රටට පැමිණිම, මූල්‍ය තත්වය හොඳින්ම කළමණාකරණය කිරීම වැනි කාරණා අතින් 2018 වර්ෂය රටට හිතකර තත්වයක් තිබූ බවත් කියා සිටියා.

පුද්ගලික කාරණා රාශියක් නිසා තමාට මේ දිනවල පොළොන්නරුවේ ගත කිරීමට සිදුවූ බැවින් පාර්ලිමේන්තුවට යාමට නොහැකි වූ බවත් අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම පිළිබඳ ඡන්ද විමසීමට තමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ඒ මහතා සඳහන් කළා.

අයහපත් කොන්දේසි තිබේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය හැකි බවත් තමා ජනාධිපති ධූරයේ සිටි සමයේත් එලෙස අහිතකර කොන්දේසි ලබා දුන් විට එය සාකච්ඡා කර විසඳා ගත් බවත් ඔහු පෙන්වා දෙනවා.

ආණ්ඩුව මුදල් ලබා දීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් තමාව දෙවතාවක් හමුවී සාකච්ඡා කළ බවත් රටට මුදල් ලබා දිය යුතු බවට ඔවුන්ට දැනුම් දුන් බවත් පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා දූෂණයෙන් වංචාවෙන් තොරව එම මුදල් ආයෝජනය කර දුගී දුප්පත් ජනතාව බේරා ගැනීමට සඳහා යහපත් විධිමත් වැඩපිළිවෙලත් සඳහා වත්මන් රජයට බලපෑමක් ඇති කළ යුතු බවත් ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද(28) පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: