hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 23, ප.ව. 4:32



රට ගොඩ ගත හැක්කේ සියලු පක්‍ෂ එක්ව දූෂිතයන්, වංචාකාරයන්, පවුල්වාදය නැති පිරිසිඳු මිනිස්සුගෙන් යුත් ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන්නේ රට වෙනුවෙන් මිස ජනාධිපති අගමැති තනතුරු බලාපොරොත්තුවෙන් නොවන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ වන විට රට තිබෙන්නේ ගිනි කන්දක් උඩ බවත්, එය නිවාගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය මැදිහත්විය යුතු බවත් හෙතෙම කියා සිටියා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ජත්‍යන්තර මුල්‍ය අරමුදලින් මුදල් ලැබීම ගැන සම්පූර්ණ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ලබාදෙන බව කී සිරිසේන මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල ඇති වැදගත්ම කරුණ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගපෙන්වීම තුළ දූෂණය වංචාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ හා වැඩපිළිවෙලක් ඇතිකළ යුතුවීම බව ද කියා සිටියා.

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් මුදල් ලබා ගැනිම සම්බන්දව පාර්ලිමේන්තුවේදීත් බොහෝ වාද විවාද ඇති වුණා. මම ජනාධිපතිවරයාව සිටි කාලයේදීත් රාජ්‍ය ගෙන යන්න ජාත්‍යන්තර අරමුදල පිටුවහලක් වුණා. අවුරුදු පහක කාලයම ආණ්ඩුව ගෙන ගියේ මෙම ජාත්‍යන්තර අරමුදලින්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ගැන මේ දවස්වල කතා කරනවා.සෞඛ්‍ය, අධ්‍යාපනය, සමෘද්ධිය වගේ බරපතල මාතෘකාවලට ගිය ආණ්ඩුවල කොන්දේසි තිබුණත් මෙවර මුල්‍ය අරමුදලේ දී එවැනි කොන්දේසි පනවලා තිබුණේ නැහැ. කොන්දේසි කොපමණ තිබුණත් අපිට පුළුවන් සාකච්ඡා මාර්ගයෙන් ඒ කොන්දේසිවලට එකග වෙන්න අමාරු නම් එකග නොවී ඉන්න. එම නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නෙ නරක දෙයක් නෙවෙයි. එම මුල්‍ය අරමුදල අපිට ලැබීම ගැන තියෙන්නේ සතුටක්. සමහර අය කියනවා ණය කන්දක් එකතු වෙනවා කියලා. විදේශ ණය ගන්නේ නැතිව මේ රට ගොඩගන්න අසීරුයි. මේ රට තිබුණේ තුන්වන ලෝකයේ රටක් විදිහට. එහෙත් මේ රට මම ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙන විට මේ රට මධ්‍යම ආදායම් ලබන රටක් විදිහටයි තිබුණේ. අපේ ඉලක්කය තිබුණේ ලෝකයේ පළවන මට්ටමේ ආදායම් ලබන රටක් බවට පත් කරන්න. නමුත් තිබුණ වසංගත තත්තවයත් සමග ලෝක ආර්ථිකය බිද වැටීම නිසා ඇති වුණ සිදුවීම් වගේම අක්‍රමවත් කලමනාකරණය සහ විදේශ විනිමය කලමනාකරණයට අපොහොසත් වීම නිසා මධ්‍යම ආදායමක් ලබන මට්ටමේ ආර්ථිකයක් තිබුණ රටේ ආර්ථිකය නැවතත් තුන්වන මට්ටමේ සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වුණා.”

ජත්‍යන්තර මුල්‍ය අරමුදලින් මුදල් ලබා ගැනීමට ගත් උත්සාහය වගේම එම මුදල් ලැබීම ගැන සම්පූර්ණ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වගේම ආණ්ඩුවට අපි ලබා දෙනවා. එම මුදල අහිතකර නොවන විදිහට පාලනය කිරීමේ හැකියාව තියෙනවා. මම ඒ ගැන දන්නේ ජාත්‍යන්තර අරමුදලින් මමත් රාජ්‍ය පාලනය කරපු නිසා ඒ අත්දැකීමත් එක්ක. එතුමා නිතරම කියන්නේ රට ගොඩගන්න සියල්ල එකතු වෙන්න කියලා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මීට අවුරුදු දෙකක දී ඉදන් කිව්වෙත් මේ. සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රමයක් බිහිකල යුතුයි කියලා. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් පක්ෂ පාඨ නොබලා එක්ව වැඩ කළ යුතුයි. සර්ව පාක්ෂික ක්‍රමය යෝජනා කරන්නේ මට ජනාධිපති අගමැති තනතුරු බලාපොරොත්තුවෙන් නෙවෙයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කල යුතුයි. ඒ මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත බලයක් හිමි විය යුතුයි. මං හිතන්නේ එය ඉතාමත් හොද ක්‍රියාමාර්ගයක් කියලා. කොහොම නමුත් දුෂණය වංචාව තොර රටක් බිහි කරන්න ආණ්ඩුව ගෙන යන ප්‍රතිපත්තිවලට අවශ්‍ය සෑම සහයෝගයක්ම අපි ලබා දෙනවා.” යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: