hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 01, පෙ.ව. 8:53



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටලු සියල්ල ඉතා කෙටි කලකින් නිමාවට පත්වන බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.   

සෑම දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ගැටලු පැවතීම සාමාන්‍ය දෙයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

අද (30) මහනුවරදී මල්වතු – අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු ජනාධිපතිවරයා මෙසේද කියා සිටියා.

“මේ රටේ ප්රරධානතම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි වලට කැඩිලා එක මන්ත්‍රී කෙනෙක් වත් නැති වෙලා යන තරමට ප්‍රශ්න ඇති වුණා. එහෙත් අද ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වෙලා ඉන්නවා. එහෙම තමයි දේශපාලනේ කියන්නෙ. ඕනෑම පවුලක පවා අඩදබර තියෙනව. මේවා සාමාන්‍ය දේවල්. මෙවර අපේ මැයි දිනය පවත්වන්නේ මහනුවර අපේ පක්ෂයේ සියලු දෙනාටම සහභාගි වෙන්න කියලා අපි විවෘත ආරාධනාවක් කරල තියෙනවා. මේ වනවිට අපි අපේ පක්ෂයේ සංවිධාන කටයුතු ඉතා හොඳින් කරමින් පවතිනවා.

මම නම් හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලබා ගත යුතුයි කියලයි. හැබැයි ඒ මුදල් විනිවිදභාවයෙන් යුක්තව වංචා දූෂණ නැතිව හොරකම් නැතිව රටේ අවශ්‍යතා සඳහා කළමනාකරණය කරගත යුතුයි. ඔය හොරකම වංචා දූෂණ නිසයි රටට මේ ඉරණම අත් වෙලා තියෙන්නේ. අපි හැම දෙයකටම විරුද්ධ වෙන්නෙ නෑ. හොඳ දෙයකට හොඳයි කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේ රටට හිතකර වගේම අහිතකර කොන්දේසි තියෙනවා. රටට අහිතකර කොන්දේසි ඉවත් කර ගැනීම අපි කළ යුතුයි.

ප්‍රති ත්‍රස්ත පනත තවම ගෙනල්ලා නෑ. ඉතින් කොහොමද දකින්නත් ඉස්සරවෙලා විරුද්ධ වෙන්නේ. ඒක ගෙනාවාම අධ්‍යනය කරලා බලල තමයි අපේ පක්ෂය තීන්දු තීරණ ගන්නේ. දැන් පාස්කු ප්‍රහාරය වගේ බරපතල සිදුවීම් සම්බන්ධයෙන් ඔය එක එක්කෙනා කියන විදියට ක්ෂණික තීන්දු තීරණ ගන්න බෑ. ඔය ඉස්ලාම් ත්‍රස්තවාදීන් මම දන්න තරමින් රටවල් 27 කට පමණ ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒ සමහර රටවල මේ සම්බන්ධ තීන්දු තීරණ ගන්න වසර 10-15 ගිහිල්ලත් තවම බැරිවෙලා තියෙනවා. අපේ රටේ අයට පුදුම හදිසියක් තියෙනවා. මලක් පිපිලා පරවෙලා යනවා වගේ ඉක්මනට මේ වගේ බරපතළ සිද්ධිවල තීරණ ගන්න බෑ. ” යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.                                                                                                                    

හිටපු ජනාධිපතිවරයා මල්වතු මහ නාහිමි අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි හමුවේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාගේ නම ඈඳා ගැනීම තමාගේ පෙරකල පවක් පඩිසන් දීමක් වශයෙන් සලකන බවයි.

තමාගේ දේශපාලන ජීවිතයට බොහෝ බාධක අවහිරතා එල්ල වන බවද ඒ මහතා නාහිමි හමුවේ පැවසුවා.    

මහනුවර – කමල් සුරවීර     





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: