hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 5:17



ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකතුවුණා වගේ රටට බලපාන ජාතික ප්‍රශ්නවලදීත් අපි සියලුම දෙනා එකතුවෙලා කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනාධිපතිවරයා කිසිඳු විරුද්ධත්වයක් නොමැති බවයි.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ රටට එවැනි වැරදි මතයක් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදයට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පාර්ලිමේන්තුව රැස් වුණා.

“එදා මෙදාතුර ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් ශ්‍රී ලංකාව කියන නාමය ලෝකයේ ඉහළටම ඔසවා තැබූ  ක්‍රිකට් කණ්ඩායමට එදා නායකත්වය ලබා දුන් අර්ජුන රණතුංග මැතිතුමා මගේ සහෝදරයායි. එදා ඔවුන් කුසලානය දිනාගන්න කළ කැපකිරීම් අපි දන්නවා. ඒ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ තරම් උනන්දුවක් තිබුණෙ නැහැ. මුදල් ආයෝජනය කරන අය හිටියේ නැහැ.  එදා ක්‍රීඩකයන් අපේ ගෙදරට ගෙන්වා ගෙන ලොකු කැපකිරීමකින් තමයි මේ ගමන ආවේ. ගාමිණි දිසානායක ඇමතිතුමා, කවදාවත් දේශපාලන මැදිහත්වීම් කළේ නැහැ.   

පළමුවැනි ටෙස්ට් තරඟයේ සිට ලැබූ අත්දැකීම් සමඟ ලෝක කුසලානය දිනාගන්නා තැනට අපේ කණ්ඩායම ගෙන එන්න අර්ජුන රණතුංග මැතිතුමාට හැකියාව ලැබුණා. ඒ සඳහා ඔහු ලොකු කැපකිරීමක් කළා. එතුමයි මමයි දේශපාලන වශයෙන් මතවාදයන් දෙකක හිටියට ක්‍රිකට් සම්බන්ධයෙන් අර්ජුන අයියා කතා කරපු දේවල් අද ඇත්ත වෙලා තිබෙනවා. ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව හුඟාක් අය මෙතෙන්ට ආවේ සල්ලි හම්බ කරන්න මිස ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න නෙවෙයි.  ඒ නිසා කවුරු හරි ක්‍රීඩා ඇමතිවරුන්ට, දේශපාලනඥයන්ට බණිනවනම් මම එය පිළිගන්නේ නෑ.

පුරවැසියෙක් විදියට විතරක් නෙවෙයි මෙ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 අතරින් මම‍ මේ විවාදයට දායක වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන පුද්ගලික සබැඳියාව හා කැක්කුම එක්කයි. මම ක්‍රිකට් ගැහුවා. විපක්ෂනායකතුමා රාජකීය විද්‍යාලයට ක්‍රිකට් සෙල්ලම් කරනකොට මම ආනන්දයේ ක්‍රිකට් නායකයා.

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතයේත් මම හිටියා. මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයෙක් විදියටත් වැඩ කළා. මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයා වශයෙන් ඉන්න කොට තමයි තිලංග සුමතිපාලට විරුද්ධව අයි.සි.සී එකට ලියුම් ලිව්වේ. ඒ නිසා අදත් එතුමට එතෙන්ට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මමත් ඒ අය එක්ක එකතුවෙලා වැඩ කළා නම් මටත් හොඳට සල්ලි හම්බ කරන්න තිබුණා.

ගාමිණී දිසානායක මහත්තයල කරපු කැප කිරීම, දේශපාලන මැදිහත්වීම නැත්නම් ක්‍රිකට් මේ තත්ත්වයට එන්නේ නැහැ. එතුමා ඇමතිවරයෙක් විදියට අයි.සී.සී එකට ගිහිල්ලා ලංකාවට ටෙස්ට් වරම් ගන්න කටයුතු කළා. සමහරු පාර්ලිමේන්තුවේ 225ම එපා කියනවා. ඒ අය එහෙම කියන්නේ 225 දෙනා ඇතුළේ ඉඳගෙනමයි. මට කලින් කතා කරපු මන්ත්‍රීවරයා කියනවා නිමල් සිරිපාල ඇමතිතුමාට මෙතන කරපු කතාව කැබිනට් එකේ කරන්න තිබුණ කියල.මමත් කැබිනට් සාමාජිකයෙක්. 

මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි,  ක්‍රිකට් බෝඩ් එක විසුරුවා හරින එක ගැන කැබිනට් එක දන්නේ නැහැ. දැනුවත් කළායින් පසුව තමයි කැබිනට් අනුකමිටුවක් පත් කළේ. ඒ ක්‍රීඩා ඇමතිතුමාගේ අඩු පාඩු හොයන්න‍ නෙමෙයි. ඒ අනුකමිටුව පත් කළේ මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියල හොයන්නයි. දැන් අපි මේ යෝජනාවට විරුද්ධ වුණා කියල වැරදි මතයක් හදන්න හදනවා. නෑ.  මම විපක්ෂනායකතුමාට ස්තූතිවන්ත වෙනවා මේ යෝජනාව ගෙනාවට.

අපි පක්ෂ නායක රැස්වීමේදී කාටත් එකඟ වෙන්න පුළුවන් විදියට මේ යෝජනාව ගෙනාව. දැන් අපිට කරන්න දෙයක් නෑ. බෝඩ් එක ඉල්ලා අස්වෙන්නෙත් නෑ. අපිට ඉවත් කරන්නත් බැහැ. ඒ නිසා මේ පණත වෙනස් කරන්න ඕන කියල යෝජනාව ගෙනාවේ ඊයේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා හා එතුමාගේ නිළධාරීන් මේකට විරුද්ධයි කියල කිව්වා. එහෙම විරුද්ධනම් මොකටද ජනාධිපතිතුමා මේ‍ යෝජනාව ගේන්නේ. ඔය දේශපාලන බලවේගයේ කුහකත්වය හැම තිස්සෙම පෙන්වනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: