hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:36



ගෝල්ෆේස් අරගලකරුවන්ද එක්කර ගනිමින් දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම පිළිබඳ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණේ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අරගලකරුවන් සමඟ සාකච්ඡා කර එම අරගලකරුවන් තම පක්ෂය සමඟ එක්කර ගැනීමට හැකි නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ ඉහළ නායකයන්ට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ බලගැන්වීමේ  කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති නිසා එහි මූලික කාරණාවක් ලෙස අරගලකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කළ හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවටද මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් හා පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වනවිට එම පක්ෂයේ බලගැන්වීම් කටයුතු දීපව්‍යාප්තව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ සංවිධාන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

මෙහි මූලික පියවරක් ලෙස පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වනවිට ආරම්භ කර ඇති අතර ගම් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන කටයුතු කිරීම පිළිබඳ සහ පාක්ෂිකයන් තවත් වැඩි කර ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ඔවුන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එළැඹෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සංවිධාන කටයුතු කිහිපයක්ම ආරම්භ කිරීමට ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින අතර පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සහ පක්ෂයේ ඉහළ නායකයන් රැසකට මේ වනවිට එම කටයුතු කිරීමට උපදෙස් දී ඇතැයිද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: