hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 03, ප.ව. 2:34



අධිකරණ තීන්දුවක් සංශෝධනය කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත්වරයාට කිසිවකු බලපෑම් කර ඇත්නම් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු කරන ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

අධිකරණය පාලනය කිරීමට ආණ්ඩුවට බලතල නොමැති බවත්, ආණ්ඩුව සිදු කරන්නේ පහසුකම් සැලසීම සහ නීති සම්පාදනය කිරීම පමණක් බවත්, ඇමැතිවරයා එහිදී පැවසුවා.

තම තීන්දුව වෙනස් කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කළ බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මෙරටින් පිටව ගිය පසු තර්ජන සහ ආතතිය හේතුවෙන් තමන් ඉල්ලා අස් වූ බව මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කර ඇත.

”ඔහුට අනිසි බලපෑම් තිබුණා නම් රට හැර ගොස් පැමිණිලි කිරීම නොකළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට බලපෑම් කළ පුද්ගලයාට නොතීසි නිකුත් කිරීමටත් ඔහුව අධිකරණය හමුවට කැඳවීමට හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමටත් ඔහුට බලතල තිබුණා. ඔහුට නඩුවක් පවරා වැරදිකරුට දඬුවම් කිරීමට, අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට පවා හැකියි. ඔහු තම බලතල ක්‍රියාත්මක නොකළේ නම් එහි වගකීම ඔහු භාරගත යුතුයි.” හෙතෙම පවසා තිබෙනවා.

මහේස්ත‍්‍රාත්වරයා සම්බන්ධ කාරණය පිළිබඳව විමර්ශනය කිරීමට ආණ්ඩුවට බලයක් නොමැති බවත්, මෙම ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ ආයතනය අධිකරණ සේවා කොමිෂන් සභාව වන බවත්, යම් කිසිවකුට මේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එම සභාවට පැමිණිලි කළ හැකි බවත්, ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: