hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මාර්තු 16, ප.ව. 6:15



වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා පෙරහැරරේ උත්තතරීතරම හා පූජනීයම අංගය වනුයේ සදාතුක කරඩුව වඩම්මවන දර්ශනයවේ. දළදා පෙරහැර විචිත්‍රවත් කරමින්ග මන් ගන්නා අලි ඇතුන් අතරේ මෙම සුවිශෙෂී පූජනීයම අංගයට දායක වන හස්තියා ඉතාමත්ම වාසනාවන්ත, පින්බර සහ අතිවිශීෂ්ඨ හස්තියෙකු වේ.

නැදුන්ගමුවේ රාජා ඇත් පැටියා සමග තවත් ඇත් පැටියෙක් ලංකාවට පැමිණියේ ඉන්දියාවෙනි. නැදුන්ගමුවේ රාජා අයිති වෙන්නේ එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස් (Elephas maximus indicus)විශේෂයට. කොළඹ පුරවරයේ මහරගම නීලම්මහර වෙද හාමුදුරුවො මෙම ඇත් පැටවුන්ගේ මුල්ම භාරකාරයා වේ. ඉන්දියාවේ මයිසුර් වල මහරජුන් කෙනෙකුගේ නෑයෙක් හට වෙදකම් කිරීම නිසා තෑග්ගක් ලෙස මේ ඇත් පැටවුන් දෙදෙනා එම රජුන් විසින් උන්වහන්සේට ප්‍රධානය කර ඇත. පසුව නීලම්මහර වෙද හාමුදුරුවෝ මෙම ඇත් පැටවුන්ගේ භාරකාරත්වය වෙනත් දෙදෙනෙකුට පවරා දී තිබේ. ඉන් එක් පැටියෙකු ගංගාරාම විහාරස්ථානයේ හැදී වැඩී මීට ටික කලකට පෙර මියගිය නවම් රාජාය. අනෙක් පැටියා හොරණ උඩුව පලාතට ගිය මුත් වසර 25 කට පමණ පසු 1978 වසරේදී නැදුන්ගමුවේ පණ්ඩිත වෙදරාලහාමිගේ දයාබර කැදැල්ලට පිවිසෙන්නේ නැදුන්ගමු⁣වේ රාජා ලෙසින්ය. ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි. දේවත්වයේ මහා හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයෙන්ගෙන් අයෙකි. නැඳුන්ගමුවේ රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලයි.

සිය පිට මත දළදා කරඩුව තැබු පසු ඇත් රජු මහ ආඩම්බරකාර විලාශයන් ගත්හ. පාවඩ නොමැතිව හෝ පාවඩ වලින් පිටත එක අඩියක් නොතබන මේ සද්දන්තයා නැදුන්ගමුවට පමණක් නොව මුළු රටටම මහත් අභිමානයක් ගෙන දෙන පෙරහැරේ ගමන් කරනු ලැබුවේ සක්විති රජෙක් විලසිනි. මහනුවර ඇසළ පෙරහැරේ වත්මන් ප්‍රධාන කරඬුව දරන හස්ති රාජයා වුයේද විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයා වුයේද නැදුන්ගමුවේ රාජා ඇතුයි. ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කරවූ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියායි. 2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාය. එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය. කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය.

අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ “නැදුන්ගමුවේ රාජා” 2005 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැරිවය. ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගිවී යන්නට එන්නට පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද ගියේය. නැදුන්ගමුවේ හස්තියා දළදා පෙරහැරට සහභාගි වීම සඳහා දවස් 7 මුලුල්ලේ පයින් ගමන් කෙරූහ. එනම් දළදා පෙරහැර වෙනුවෙන් පයින් ගමන් කරන එකම හස්ති රාජයා නැදුන්ගමුවේ හස්තියා නුවර දලදා පෙරහැරට විතරක් නෙමෙයි බෙල්ලන්විල පෙරහැර , රත්නපුර මහ සමන් දේවාල පෙරහැර , කැළණි පෙරහැර , ගම්පහ සාම විහාර පෙරහැර, කඩුවෙල රන්කඩු දේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරට ද මෙම හස්තියා පාගමනින්ම සහභාගි විය.

උතුම් ශ්‍රී දළදා සමිඳුනට උත්තරීතර පූජෝපහාරය පිදෙන ඉමහත් වන්දනීයත්වයට පාත්‍ර වන දළදා පෙරහරේ පෙරහර කරඬුව වැඩම කළ පින්බර නැදුන්ගමුවේ රාජා හස්තියා ගේ නික්මයාම දළදා මැදුරට පමණක් නොව සකල ජනයාටම සංවේගය එක් කරන්නකි. දාහත් වසක් මහනුවර ඇසළ පෙරහැරෙහි සධාතුක කරඬුව තම කර මත වඩා හිඳුවමින් ගෞරව පෙරදැරිව මහත් අභිමානයෙන් වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්තියා ලක් දෙරණට “ජාතික උරුමයක් විය. දෙස් විදෙස් ආදරය, ගෞරවය නොඅඩුව ලබා ගනිමින් වසර 10කට අධික කාලයක් පුරාවට නොමද භක්තියකින් දළඳා වහන්සේ වෙනුවෙන් සේවය කර, වසර 69ක් ආයු වළඳා දෙව් ලොව වැඩි නැදුන්ගමුවේ විජය රජා හස්තිරාජයාණෙනි, ඔබට සසර මග කෙලවර උතුම් නිර්වානයම අත්වේවා!

ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය

සටහන: තිලංක රත්නායක