hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 4:22



බදුල්ල මහ නගර සභාවට තෑගි ඔප්පුවකින් පරිත්‍යාග කර තිබූ කෝටි ගණනාවක වටිනාකමකින් සමන්විත පර්චස් 3565ක ඉඩමක් (අක්කර 22, රූඩ් 01, පර්චස් 05) වසර 28කට පසුව තෑගි ඔප්පුව අවලංගු කරමින් නගර සභාව සතුව පවතින ඉඩම අහිමි කිරීමට එවක හිටපු නගරාධිපතිවරයා වංචා සහගත අයුරින් කටයුතු කර ඇති බවට ඌව පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා විසින් 2022.07.26 වන දින බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇති බව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලද ලිපි ලේඛණ වලින් අනාවරණය වුණා.    

බදුල්ල රිදීපාන වත්ත නමින් හදුන්වන මෙම ඉඩම 1994 ජූනි 29වන දින අංක 2823 දරණ තෑගි ඔප්පුවකින් හත් දෙනෙකුට අයිතිව තිබූ දේපලක් සුබාෂ් මෝහනදාස් මහාලිංගම් මහතා ඇටර්නි බලකරු ලෙස අත්සන් කල බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති සහ බදුල්ල මහ නගර සභාව, එහි සාමාජිකයින්, එහි කාර්ය මණ්ඩලය, පොදුවේ බදුල්ලේ ජනතාවට තෑගි කර තිබෙනවා.

එසේ තෑගි කරන ලද ඉඩම වසර 28කට පසුව එනම්, 2022 අප්‍රේල් මස 26 වන දින 18490 අංක යටතේ වරද නිවැරදි කිරීමේ ප්‍රකාශන ඔප්පුව තුලින් 1994.06.29 වන දින ලියා සහතික කරන ලද අංක 2823 දරණ තෑගි ඔප්පුවෙන් පළමු ප්‍රකාශනකාර සුබාෂ් මෝහනදාස් මහාලිංගම් මහතා විසින් එවකට බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති දූරය හෙබවූ දෙවන ප්‍රකාශනකරුගේ නිළ නාමයට නොව මුල්ලේ විදානෙලාගේ දොන් අමරසිරි හේමචන්ද්‍ර යන පෞද්ගලික නාමයට තෑගි කොට එකී තෑග්ග පවරා ඇති බව සදහන්.

තවද 2022 ජූනි 09වන දින 18509 දරන අංකය යටතේ 1994.06.29 ලියන ලද අංක 2823 දරන තෑගි ඔප්පුව අවලංගු කර තිබෙනවා.

බදුල්ල මහ නගර සභාවට අදාළ ඉඩම් පවරා දීමේදී මහ නගර සභා ආඥා පනත ප්‍රකාරව පැවරිය යුත්තේ නාගරික කොමසාරිස්වරයාට වුවද පළමු පාර්ශවකරුවන සුභාෂ් මෝහනදාස් මහාලිංගම් මහතා විසින් බදුල්ල මහ නගර සභාවට අදාළ ඉඩම් කොටස් පවරා නොදී එවකට බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවූ මුල්ලේ විදානෙලාගේ දොන් අමරසිරි හේමචන්ද්‍ර මහතාට පෞද්ගලික ආකාරයෙන් ඇති හිතවත්කම ආදර කරුණාව හේතුකොටගෙන බදුල්ල මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය සහ බදුල්ල පොදු ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ යහපත උදෙසා යහපත් කාර්යයක් කිරීම වෙනුවෙන් බදුල්ල මහ නගර සභාවේ එවකට නගරාධිපති දූරය දැරූ දෙවන පාර්ශවකරුට තෑගි කොට පවරන ලද බව 18509 අංක දරණ තෑගි ඔප්පුව අවලංගු කිරීමේ ඔප්පුවේ සදහන් කර තිබෙනවා.

තවද එකී තෑගි කරන ලද ඉඩමේ අදාල අරමුණු ඉටුකර ගැනීමට දෙවන පාර්ශවය අපොහොසත්වීම ඇතුලු කරුණු කිහිපයක් මත මෙම තෑගි ඔප්පුව අවලංගු කිරීමට දෙපාර්ශවයම එකග වී තිබෙනවා. එසේම මෙතැන් පටන් ඉඩම් වල අයිතිය දෙවැනි පාර්ශවයට නැති බවත් ඉඩම්වල අයිතිය පළමු පාර්ශවයට ඇති බවත් 18509 දරන තෑගි ඔප්පුව අවලංගු කිරීමේ ඔප්පුවේ සදහන්.

මෙවන් තත්වයක් ඇතිවන්නේ වසර 28කට පසුවයි. එය මහත්වූ ගැටලුකාරී තත්වයක් බවට පත්වෙද්දී මෙම ඉඩම් නැවත පවරාදීම සම්බන්ධයෙන් බදුල්ල මහ නගර සභාවේ අගෝස්තු මස පැවති මහ සභාවේදීද යෝජනාවක් ලෙසට ගෙන ආ අතර එහිදී මන්ත්‍රීවරුන් අතර විවිධ අදහස් මතු වෙන්නට විය.

එහිදී උප නගරාධිපති රංගේ අසිත නලින්ද මහතා අදහස් දක්වමින් ඉතා දීර්ඝ විස්තරයක් කරමින් මෙම ඉඩමේ වටිනාකම ඉලක්කමෙන් කියවීමටත් අපහසු ගණනක් බවත් නගර සභාවට අයත් මෙවන් දේපලක් අහිමි කිරීමට උත්සහ කර ඇති පාර්ශවයන්ට නීතිමය කටයුතු කිරීම යෝග්‍ය බවද සදහන් කලා. එමෙන්ම එවකට හිටපු නගරාධිපතිවරයාට මෙම ඉඩම තෑගි කර ඇත්නම්, එය පුද්ගලික ඉඩමක් නම්, 2022 අගෝස්තු මාසයේදී මෙම ඉඩම සම්බන්ධව සභා වාරයට යෝජනාවක් හැටියට ගෙනආවේ ඇයිදැයි ප්‍රශ්න කර සිටියා.

1994 වසරේ සිට 2006 දක්වාවූ කාලය තුල බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති දූරය හොබවා ඇත්තේ මෙහි දෙවන පාර්ශවකරු ලෙසින් සදහන් මුල්ලේ විදානෙලාගේ දොන් අමරසිරි හේමචන්ද්‍ර නැමති නගරාධිපතිවරයායි. එම කාලය තුලදී මෙම වරද නිවැරදි කිරීමට කටයුතු නොකලේ මන්ද යන ප්‍රශ්නය මේ වන විට කා අතරත් කතා බහට ලක්වෙමින් තිබෙනවා.

හේමචන්ද්‍ර මහතා නගරාධිපති දූරය දැරූ කාලය තුලදී මෙම ඉඩමේ නිවාස යෝජනා ක්‍රමයක් සම්බන්ධව යෝජනාවක් සිදුව ඇති අතර එහිදී පාර්ශව ගණනාවක් වෙතට පිලි හුවමාරුවී තිබෙනවා.

එමෙන්ම එම නිවාස යෝජනා ක්‍රමයට අදාලව නගර සභාවේ මහා සභාවේදී යෝජනා සම්මත වීමක්ද සිදුව ඇතැයි වාර්තා වනවා.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලද එම ලිපි පහත පරිදි වේ.

නගරාධිපතිගේ ඉල්ලීමකට අනුව 1994.06.29 වන දින නගර සභාව වෙතට ඉඩම පරිත්‍යාග කෙරුනේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බවත් එම නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නම් එම අදාල සමාගමට ඉඩම පැවරීමට තමාගේ කිසිදු අකමැත්තක් නොවන බවද පෙන්වා දෙමින් මහාලිංගම් මහතා 2005.05.24 වන දින නගරාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇත.

ඒ අනුව 2005.05.31 වන දින බදුල්ල මහ නගර සභාවේ කොමසාරිස් වරයාට ලිපියක් ඉදිරිපත් කරන නගරාධිපතිවරයා නිවාස යෝජනා ක්‍රමයට අදාලව මෙම ඉඩම රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත අදාල සමාගම වෙත ලබාදෙන ලෙසට යෝජනා කර ඇත.

එහිදී මුලු ඉඩම් ප්‍රමාණයම රජයේ තක්සේරුව අනුව නිවාස යෝජනා ක්‍රමයක් පමණක් ඉදිකිරීමට බදුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය කමිටුව 2005.06.08 වන දින නිර්දේශ කර ඇත.

සෞඛ්‍ය කමිටුවේ නිර්දේශය සලකා බලමින් මෙම රිදීපාන ඉඩම රජයේ තක්සේරු අනුව සහ යටිතල පහසුකම් අනුව නිවාස යෝජනා ක්‍රමයක් පමණක් ඉදිකිරීම සදහා බදුල්ල මහ නගර සභාවේ මුදල් කමිටුව 2005.06.08 වන දින නිර්දේශ කර ඇත.

2005.06.24 වන දින නගරාධිපතිවරයා විසින් එවකට ඌව පළාත් මහ අමාත්‍යවරයාව සිටි විජිත් විජිතමුණි සොයිසා මහතා වෙතට ලිපියක් ඉදිරිපත් කරමින් නිවාස යෝජනා ක්‍රමයට අදාලව 2005.06.16 වන දින පැවති මහ සභාවේදී ගත් තීරණයට අනුව අදාල ඉඩම රාජ්‍ය තක්සේරුකරුගේ තක්සේරුවට අනුව නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක සමාගම වෙත විකිණීමට අනුමැතිය ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් පසුව එම නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මකවී තිබුණේ නැත.

මේක තමන්ගේ පෞද්ගලික ඉඩමක් නම් මොකටද ඒ දවස් වල නගර සභාවේ කමිටුවලට දාලා, එවක මහ ඇමතිට ලියුම් ලියලා අනුමැතිය ලබාගන්නේ. ඒකෙන්ම තේරෙනවා මේ දේපල මහාලිංගම් මහතා තෑගි කරලා තියෙන්නේ බදුල්ල මහ නගර සභාවට කියලා. මේක ජාතික විගණනයට පවා ලක්විය යුතු කරුනක්. අල්ලස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කල යුතු කාරනයක්. යනුවෙන් තම අනන්‍යතාවය හෙලි කිරීමට අකමැතිවූ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් සදහන් කලා. 

2006 වසරේදී මෙම නගරාධිපතිවරයා පළාත් පාලන නිළවරණයෙන් පරාජය වන අතර ඔහු එතැන් සිට මේ දක්වාම ‍බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙසත් වර්ථමානයේ විපක්ෂ නායකවරයා ලෙසත් කටයුතු කරනවා. පසුගිය කාලය පුරාවටම මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදු නොවී පසුගිය ජූනි මාසයේදී මෙවන් සිද්ධියක් සිදුවීම තුල යම් අදිසි බලවේගයක් පවතින බවට බොහෝ පාර්ශව මත පල කරයි.

වසර 28ක් පුරාවට පැන නොනැගි මෙම ඉඩම සම්බන්ධයෙන්මේ වන විට ඇතිවූ තත්වයත් සමගින් බදුල්ල මහ නගර සභාවේ ආඥා පනතට අනුව මෙම දේපල සහ ඊට සම්බන්ධ කවර හෝ අන්සතුවීමක් සිදුවන ඔප්පුවක් හෝ නීතිමය ලියවිල්ලක් නොලියන ලෙසට ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 32වන වගන්තිය යටතේ බදුල්ල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයා වෙත බදුල්ල මහ නගර සභාවේ කොමසාරිස් වරයා විසින් 2022.08.10 දින කේවියට් ආඥාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම අදාල තෑගි ඔප්පුව වෙනත් පාර්ශවයක් විසින් අවලංගුකර එම ඉඩමේ මුල් අයිතිකරුවන්ට නැවතත් අයිතිය පවරා ඇතත් එය නගර සභාවේ අනුදැනුමකින් තොරව සිදුකරන ලද එකක් බවට නගර සභාවේ මහා සභාවද දැනුවත් කල බවත් බදුල්ල පොලීසියේ CIB 1 360/261 යටතේ බදුල්ල මහ නගර සභාවේ නාගරික් කොමසාරිස් වරයා පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

තවද මහ සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුව මේ සම්බන්ධයෙන් අදාල පාර්ශවයන්ට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට නීතිඥවරියක්ද දැනුවත් කිරීමට නාගරික කොමසාරිස්වරයා කටයුතු කර ඇතැයි තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලද ලිපි ලේඛණ වලින් අනාවරණය වෙනවා.

කෙසේ වෙතත් මහජන නියෝජිතයින් සිය සේවය මහජනතාවට ලබාදිය යුතුව තිබියදී සේවය පසෙක දමමින් නගර සභාවේ කෝටි ගණනක දේපලක් අහිමි කරමින් මෙවන් අනීතික කටයුතු සිදු කලේ කුමන බලවේගයක් තුලින්ද යන ප්‍රශ්නය මේ දිනවල බදුලු නගරයේ තැන් තැන් වල දැඩි කථා බහට ලක්ව ඇති කරුණක්.

බදුල්ල – ජයලත් දිසානායක





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: