hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 10:19



රුපියල් දෙකෝටි විසිපන්ලක්ෂ පනස්හත්දාස් නවසිය හයයි ශත පනහක  (22,557,906.50)  මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කතරගම පාර 19 කණුව ගම්මානයේ පිහිටි ගලපිටආර වැව සහ රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂ තුන්දහස් නවසිය පනස් අටයි ශත විසි පහක (19,503,958.25) මුදලක් වැය කරමින් 18 කනුව  ගම්මානේ තිත්තවෙල් ආර වැව ද ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කලද වැව් දෙකේම ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි නිමකර නොමැති බවට ගොවීන් චෝදනා කරති.

මේ හේතුවෙන් මෙම වැව් වලින් ප්‍රතිලාභ ලබන ගොවීන් ඉමහත් අසරණ තත්ත්වයකට පත්ව ඇත.

ලෝක බැංකු ආධාර යටතේ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් මාස නවයක ගිවිසුමක් යටතේ Edwerd and ehristie නම් පුද්ගලික සමාගමක් විසින් 2023 ජනවාරි 06 වන දින මෙම වැව් දෙකෙහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ.

නමුත් මෙම වැවේ වැඩ කටයුතු හමාර කිරීමේ කාලය ඉක්ම ගොස් ඇතත් එම ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු වල කිසිදු වැඩකටයුත්තක් මෙතෙක් හමාර වී නොමැත.

තවද මෙම වැවේ ඉදිකිරීම් කටයුතු ප්‍රමිතියකින් තොරව සිදු වන බවට ගොවීන් චෝදනා කරයි.

මේ පිළිබදව අදහස් දැක්වූ පුෂ්පකුමාර දිසානායක මහතා,

“මෙම වැවෙන් ලබා ගන්නා ජලය මගින් මෙම ප්‍රදේශයේ ගොවීන් කුඹුරු අක්කර 150 සියයකට වැඩි ප්‍රමාණයක් අස්වද්දනවා. නමුත් මෙවර යල කන්නය මහ කන්නය සහ අතුරු කන්න යන කන්න තුනම වගා කරගන්න බැරි වුණා. මේ වැව් හදන්න කියලා වැඩ ආරම්භ කලත් කාලය අවසන් වෙලත් තවම වැව් ප්‍රතිසංස්කරණය කරන්න බැරි වෙලා තියෙනවා. කෝටි ගණනක මුදලක් මේ සදහා වෙන්කරලා තියෙනවා. ඒ සල්ලි වලට මොකද වුණේ. මේක හරිම අපරාධයක්.”