hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 20, පෙ.ව. 11:17



මහවැලි අධිකාරියේ වයඹ ඇළ ව්‍යාපෘතිය ඉදි කිරීම් සමග මෙරට ජනප්‍රිය ඉතා වැදගත් බෞද්ධ ඓතිහාසික නටබුන් රැසක් පවතින කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ මහා පරිමාණයෙන් වන සංහාරයක් වන සතුන් ජාවාරමක් පුරාවස්තු ඇති ස්ථාන විනාශ කිරීම් මෙන්ම භූගත මහා ගල්පර්වත සොයා කඩා බිද දැමීම සිදුවන බව ප්‍රදේශවාසීහු චෝදනා කරනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වයඹ ඇල ව්‍යාපෘතියේ නිලධාරීන් මෙම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. 

මාතලේ දිස්ත්‍රික්කයට කුරුණෑගල දිස්ත්‍රික්කයට අනෙක් පසින් අනුරාධපුර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ ඇතුලත සිදුවන ක්‍රියාකාරකම් පෙන්වීම සඳහා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු රැගෙන වනජීවී නිලධාරීන් ආරක්ෂා කරන කැලයට වනයට ප්‍රදේශවාසීන් කීපදෙනෙකු සමඟ ඒෂියන් මිරර් කණ්ඩායම ඇතුළු වුණා.

කිලෝමීටර් 5ක් පමණ දුරක් පා ගමනින් ගිය ද කිසිදු රජයේ සේවකයකු පුරාවිද්‍යා නිලධාරියෙකු වයඹ ඇල නිලධාරියකු වනජීවී නිලධාරියෙකු වන නිලධාරියකු මහ වන මැද තුළදී අප කණ්ඩායමට හමු නොවුණු අතර පෞද්ගලික කණ්ඩායම් කිහිපයක් මහා වන මැද ස්ථාන කිහිපයක ඔවුන්ට රිසි සේ විවිධ කටයුතුවල නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි වීම විශේෂත්වයක්.

ප්‍රදේශවාසීන් කියා සිටියේ වයඹ ඇළ ව්‍යාපෘතිය දඩ මීමා කරගෙන ඉතා සූක්ෂම ලෙස මෙම ඓතිහාසික අභය භූමියේ හෙක්ටයාර් ගණනාවක් මේ වන විටත් වන සතුන්ට  හිමි ඝන කැලෑව හෙලි පෙහෙලි කොට තිබෙන බවයි. 

එහි වටිනා කියන ගස්කොළන් රැසක් රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝදෙනෙකුගේ අනුදැනුම මත විනාශ කරමින් ඇතැම් ස්ථානවල මහා පරිමාණ මාර්ග සකසා තිබෙන බවද තවත් ස්ථාන කිහිපයක පුරාවිද්‍යා නිල්ධාරීන්ගේ ද සහය ඇතිව පුරාවස්තූන් ස්ථාන විනාශ කොට එහි ඇති යම් යම් දෑ සොරා ගැනීම ජයට ම සිදු වන බව ඔවුහු චෝදනා කරනවා.

එමෙන්ම මහ ඝණ කැලෑව මැද ඇති මහ පොළොව යට තිබෙන විශාල ගල් කැණීම් කර ඒවා පුපුරවා හැර වනය මැද ම අතහැර දමා තිබෙන බවද  ප්‍රදේශවාසීහු පෙන්වා දෙමින් පස් බොරළු ආදී සම්පත් විනාශය කරා ඇති බවටද චෝදනා කරන්නට වුණා.

මහ වනය මැද හමුවුනු කණ්ඩායම් අතර ගස් කපමින් සිටි වාහනයක් සමග පිරිසකගෙන් අප විමසීමේදී ඔවුන් කියා සිටියේ තමන් වයඹ ඇළ ව්‍යාපෘතිය හරහා කොන්ත්‍රාත් ලබාගෙන දැව කැපීමේ කටයුතුවල නිරතව සිටින බවයි.

කෙසේවෙතත් මෙරට සුන්දර සහ ඓතිහාසික අතින් ඉහළ අගයක් ගන්නා අභයභූමි අතර කහල්ල පල්ලෙකැලේ අභය භූමිට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයක්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, පොල්පිතිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හා මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභුමිය හෙක්ටයර් 2690 ක වපසරියකින් සමන්විතයි.

කහල්ල පල්ලෙකැලේ රක්ෂිතය ඉඩම් හෙක්ටයාර් 314 ක සම්පූර්ණනයෙන් ගස්කොළන් ඉවත්කොට වයඹ ඇළ ව්‍යාපෘතිය යටතේ මහා කිරුළ සහ මහා කිතුල නමින් වැව් දෙකක් ඉදි වෙන බවත් වයඹ ඇළ ව්‍යාපෘතිය හරහා මෙම ප්‍රදේශයේ    වනාන්තර තුල කිසිදු අවභාවිතාවක් නීතියට පටහැනි කිසිවක් සිදු නොවන බව වයඹ ඇල ව්‍යාපෘති භාර ඉංජිනේරු අශෝක පෙරේරා මහතා ඒෂියන් මිරර් අප කළ විමසීමකදී සඳහන් කළා.

වනජීවී  දෙපාර්තමේන්තුව වන සන් රක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව චීන කොන්ත්‍රාත් සමාගම මහවැලි අධිකාරිය ඒකරාශී වී මෙම ප්‍රදේශයේ ඉදිකිරීම් සියල්ල නිරීක්ෂණය කරමින් සිටින බවද ඊට අමතරව වෙනත් කණ්ඩායම් පැමිණ වනයේ වන අපරාධ සිදු කරනවාද යන්න තමාට නිශ්චිතව තොරතුරක් ලැබී නැති බවද හෙතෙම සඳහන් කළා.

කෙසේවෙතත් කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ හෙක්ටයාර් 314ක මහා ඝන වනාන්තරය හෙළි පෙහෙළි කිරීමේ කටයුතු කඩිනමින් අවසන් වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළා.

වයඹ ඇලේ ඉදිකිරීම් සදහා ස්භාවික ගල් පුපුරුවා හැරීම ගලවා ගැනීම් ආදී ඉදිකිරීම් කටයුතුවලට මේ දිනවල බාධා එල්ල වී ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය හිගය නිසාවෙන් බවත් ඒවා අතහැර දමා ඇත්තේ රටේ පවතින ආර්ථික ප්‍රශ්න නිසා බවද පෙන්වා දුන්නා.

ප්‍රදේශවාසීහු එම මතය ප්‍රතික්ෂේප කරමින් අතිවිශාල සුන්දර වන පෙතක් වනසතුන් ගහණ සිටින විශාල භූමි ප්‍රමාණයක් මේ   ආකාරයෙන් තම තමන්ගේ හිතුමතයට විනාශ කිරීම ගැන දැඩි කලකිරීමෙන් පසුවෙනවා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස