hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 4:12



රෝගාබාධවලට ප්‍රතිකාර ල බාදෙන වෛද්‍යවරුන් සේම රෝගාබාධවලට හේතු වන මහජන සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳව සොයා බලන්නේ අපේ රටේ පී.එච්.අයි. මහත්වරුන්.

මේ පී.එච්.අයි. මහත්වරුන්ට හෙවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට නායකත්වය ලබාදෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයා පසුගියදා අමුතුම ආකාරයේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා.

මේ වෛද්‍යවරයා කෝට්ටේ මහ නගර සීමාව තුළ සේවය කරන වෛද්‍ය මනෝජ් රුද්‍රිගෝ මහතා,

“අපි අද මේ ප්‍රදේශයේ ආපන ශාලා 30ක් පමණ පරීක්ෂාවට ලක් කළා. ඒවායින් කිහිපයකට නඩු පැවැරුවා. සමහර හෝටල හා ආපන ශාලාවලට දැඩි ලෙස අවවාද කළා.”

වෛද්‍ය මනෝජ් රුද්‍රිගු මහතා ප්‍රමුඛ කෝට්ටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි කණ්ඩායම මේ ආකාරයේ දැඩි තීන්දු තීරණ ගනිමින් මේ වන විටත් ආපනශාලා සහ අවන්හල් රැසකට නඩු පවරා තිබෙනවා.

මේ හෝටල බොහොමයක ඒ වගේම ප්‍රධාන පෙළේ සුප්‍රසිද්ධ අවන්හල්වලට මෙසේ නඩු පැවැරීමට හා අවවාද කිරීමට හේතු වී ඇත්තේ ඒවායේ ආහාර අපිරිසුදු තත්ත්වයක පවතින නිසයි.

“මේ පරීක්ෂාවේදී අපට සොයාගන්න පුළුවන් වුණා ඇතැම් හෝටලවල පිළියෙල කරන කෑමවලට බළල් අසූචි මිශ්‍ර වී තිබෙන බව. අපි ඒවා හරියටම සොයා ගත්තේ නිසි පරීක්ෂාවකින් පසුව ලබාගත් තොරතුරුවලට අනුවයි. ඒ වගේම තවත් බොහෝ තැන්වල උයන පිහන කෑමවලට මී බෙටි මිශ්‍ර වී තිබෙන බව වගේම ඒ තැන්වල බහුලව කැරපොත්තන් වෙසෙන බව සොයා ගත්තා. දැන් අපි මේ අපිරිසුදු ඒ වගේම නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ආහාර පිසින මේ අවන්හල්වලට සහ හෝටලවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. එහිදී මේ අයට අපි නිසි කාලසීමාවක් ලබා දෙනවා. ඒ කාල සීමාව තුළදී මේ හැම හැදෙන්න ඕන. එසේ නොකළොත් අපි ඒ අවන්හලට හෝ හෝටලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට සීල් තියනවා.”

වෛද්‍ය මනෝජ් රුද්‍රිගු මහතා තම කාණ්ඩායම කළ නිසි පරීක්ෂාවකින් පසුව සොයාගත් කරුණු එකින් එක දිග හරින්නට පටන් ගත්තේ මෙලෙසයි.

“අපි මේ පරීක්ෂාවේදී දැක්කා මේ හෝටලවල කෑම පිසින තැන්වල ඇති අපිරිසුදු තත්ත්වය. සමහර කඩවල කෑම උයන තැනමයි වැසිකිළිය තියෙන්නේ. තවත්  තැන්වල අපිරිසුදු කානු පද්ධති. ඒවායේ ගලාගෙන යන්නේ දහ ජරා ජලය.”

“තවත් තැන්වල කෑම අසුරා තිබෙන විධිය දැක්කම මේවා මිනිස්සුන්ට නේද කන්න දෙන්නේ කියන ප්‍රශ්නය ඇති වුණා.”

“ඒ විතරක් නෙවෙයි, මේ කෑම උයන පිහන සේවකයන්ගේ තත්ත්වයත් හරිම ඛේදජනකයි. සමහරුන්ට සමේ රෝග. ඒවා කසනවා. තවත් අයට කැස්ස. ඊළඟට සෙම සොටු රෝගවලට ගොදුරු වුණු උදවිය.”

“මේ අය නිසි සෞඛ්‍ය පිළීවෙත් කිසිවක් පිළිපදින්නේ නැහැ. ඊට සරිලන බඩු භාණ්ඩ කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ. විශේෂයෙන්ම කොත්තු හදන අය දහදිය පෙරාගෙන අපිරිසුදු විධියටයි ඒවා හදන්නේ. ඊට උපයෝගී කරගන්නා සියලු දේ අල්ලන්නේ අතින්.”

“ඇත්තටම මේ කිසිම දෙයක් කෑම ගන්න එන පාරිභෝගික ජනතාව දන්නේ නැහැ. දකින්නෙත් නැහැ. බොහෝ ආපනශාලා සහ අවන්හල් වගේ තැන්වල ඉදිරිපස හරිම පිළිවෙළයි. ලස්සනයි. ඒත් ඇතුළත සම්පූර්ණයෙන්ම අපිරිසුදුයි. ඒ වගේම අපිළිවෙළයි. ඒවා සාමාන්‍ය ජනතාව දකින්නේ නැහැ. අපිට විතරයි මේවා දකින්න පුළුවන් වෙන්නේ.”

බොහෝ විට පෙරකී ලෙස කොළඹ හා තදාසන්න නගරවල ඇති හෝටලවල හා අවන්හල්වල සේවය කරන්නේ එකම පිරිසක්.

ඔවුන් අද එක තැනක. හෙට තව තැනකය.

වෛද්‍ය මනෝජ් රුද්‍රිගෝ මහතා මෙසේද අදහස් දක්වා සිටියා,

“අපි මෙවර නීති රීති හරියටම ක්‍රියාත්මක කරනවා. මේ හෝටල පවත්වාගෙන යෑමේදී, ඒ වගේම ආහාර පිසීමේ හා අලෙවි කරන අවස්ථාවලදී අනුගමනය කළ යුතු නීති රීති හා පිළිවෙත් ගැන අපි දැනුම්දීලා ඒවා ගැන විටින් විට නියාමනය කරනවා. මේ නීති රීතිවලට වැඩ කරන හෝටල සහ අවන්හල්වලට අපි ලකුණු ලබා දෙනවා. ඒ ඔවුන්ට නිකුත් කරන කාඩ්පත මඟින් ඒ වගේම සේවක සේවිකාවන්වත් වැඩමුළුවක් මඟින් දැනුවත් කොට නිල වශයෙන් ආහාර පිසීමේ රැකියාව කරන්න පුළුවන් විදියේ අවසර පත්‍රයක් ලබාදෙනවා. මේවා අනිවාර්යය කරනවා. යම්කිසි විදියකින් මේ දේවල් පැහැර හැරියොත්, අර ලකුණු අඩු වුණොත් අපි ඒ හෝටල සහ අවන්හල් නීත්‍යනුකූලව වසා දමන්න කටයුතු කරනවා. මේ සඳහා තමයි දැන් අපි වැඩ කටයුතු සැලසුම් කරන්නේ.”

කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය පරික්‍ෂක නිලධාරීන් හා ඊට නායකත්වය ලබා දෙන වෛද්‍ය සෞඛ්‍ය අංශ භාර වෛද්‍යවරයාගේ මේ යහපත් දැක්ම හෙට දිනයේ කෑම බීම සොයා හෝටල වෙත පිය නඟන ජනතාවට මහත් අස්වැසිල්ලක් වෙනවා.

විවිධ කාරණා කටයුතු ගැන ලෝකයේ කොහේවත් නැති නීතිරීති හා ක්‍රමෝපායන් පිළිබඳව අපේ වගකිව යුතු අංශ නිතර කතා කරන බව අපි දනිමු. එහෙත් ඒවා කතාවට පමණක් සීමාවී ඇත.

කෙසේ හෝ මේ වෙද්දී කෝට්ටේ මහ නගර සභාවට සම්බන්ධ මේ සෞඛ්‍ය නිලධාරීන් ගන්නා උත්සාහය හා ක්‍රියාමාර්ග අපේ රටේ සියලු පළාත්වලට යා යුතුය. ඒ වෙනකක් නිසා නොව මිනිසාගේ මූලික අවශ්‍යතා අතර කෑමබීම මූලික වන නිසාය.

කොළඹ අවටින් කෑම ලබා ගන්නවා නම් සෞඛ්‍ය ආරක්‍ෂිත ස්ථානයකින් ආහාර ලබා ගැනීම සිදු කිරීම කළ යුතුමයි.