hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 19, ප.ව. 3:00



ජපන් රැකියා සඳහා මේ වනවිට විශාල ඉල්ලුමක් තිබෙන බවත් එම ඉල්ලුමට සරිලන පිරිස යැවීමට භාෂා ප්‍රවීණත්වය නොමැති බවත් කම්කරු සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

එනිසා ජපානයට යන්න කැමැත්තෙන් ඉන්නවා නම් තමන්ගේ භාෂා ප්‍රවීණත්වය සපුරා තිබිය යුතු බවයි ඇමතිවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් මේ වසරේ ආරම්භයේ සිට අද වනතෙක් ජපානය සඳහා පිටත්වී ඇති පිරිස 3000 කට අධිකයි.

ජපානය තුළ රැකියා අවස්ථාවන් සඳහා කාණ්ඩ 12ක් පමණ තිබෙනවා. එහෙත් ලංකාවට ලැබී ඇත්තේ එම කාණ්ඩවලින් තුනක් පමණයි. ඒ සාත්තු සේවය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ හෝටල් ක්ෂේත්‍රය සඳහායි. හෝටල් ක්ෂේත්‍රය මෑතකදී විවෘත වුණු අතර අද වනවිට ඒ සඳහා තරුණ තරුණියන් පුහුණු කරමින් පවතිනවා.

විශේෂයෙන් ජපාන රැකියා සඳහා වයස අවුරුදු 18ත් 26ත් අතර තරුණ තරුණියන්ට සුවිශේෂී ස්ථානයක් එම රට තුළ ඇතිව තිබෙනවා. ජපානය තුළ රැකියා කිරීමට මොනතරම් සුදුසුකම් ලැබුණත් අනිවාර්යයෙන්ම එම පුද්ගලයා ජපන් භාෂාව ගැන ප්‍රවීණයකු විය යුතුයි. නමුත් ඒ සඳහා ඔහු ජපන් භාෂාව දැනගැනීම පමණක්ද ප්‍රමාණවත් වන්නේ නැත.

ශ්‍රී ලංකාව තුළ ජපන් භාෂා ප්‍රවීණතාව මනින විභාග දෙකක් තිබෙනවා. ඒ N4 සහ N5 යන විභාගයි. සාමාන්‍යයෙන් ජපන් යාමට සිටින ඕනෑම අයකු මේ විභාග සඳහා ඉදිරිපත් වී සමත් වූවන් විය යුතුයි. දැනට රජය විසින් ජපානය සඳහා පිටත් කර හැරීමට තෝරාගන්නා පුද්ගලයින් මේ විභාග සමත් වී තිබිය යුතුමයි. එපමණක් නොව ඒ සඳහා යොමුවන පිරිස් අදාළ විෂය සම්බන්ධයෙන් කුසලතා පුහුණුවක් ලබාගෙන එයින්ද සමත්වීම වඩා වැදගත් දෙයක්. මාස තුනක් පමණ සිදුවන මෙම පුහුණුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිදුකරන්නේ ඒ සඳහා වගකීමක් ලබාදෙමින්.

කෙසේ වෙතත් එසේ තෝරා පත්කරගන්නා අයගේ සිරුරේ පච්ච කොටා තිබිය නොහැකියි. ශරීරයේ වෙනස්කම් ඇතිනම් ඊට අවසරය දෙන්නේද නැත. එපමණක් නොව ඔවුන් තෝරාපත් කරගන්නා විවිධ වෘත්තීන් වෙත උස සහ බරද සුවිශේෂීව සලකා බලනු ලබයි. ඇතැම් රැකියා සඳහා තෝරා පත්කර ගැනීමේදී සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක්කරන අතරම ඒ සඳහා දිවීම, ඩිෆ් ගැසීම වැනි දෑද සිදුකළ යුතුයි. මේ සියල්ලෙන් පරිපූර්ණ අයකුට ජපානය වෙත යාම ඉතා පහසුයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රැකියා ආයතන, රජයේ අවස්ථා, තොරතුරු පැහැදිලිවම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ www.slbfe.lk දරන වෙබ් අඩවියට ගොස් ඕනෑම අයකුට දැන ගත හැකියි.

රජයෙන් නොමිලේ මෙම රැකියා ලබා දුන්නද ඇතැම් රැකියා ඒජන්සි මේ සඳහා විශාල මුදලක් ලබාගන්නා බවක් පෙනී ගොස් තිබෙනවා. එහෙත් එසේ ලබාගන්නා මුදලට සාධාරණය වන්නේද යන්න පිළිබඳ ගැටලුවක්. මේ හේතුවෙන් රජය නොමිලේ රැකියා ලබාදීම පමණක් නොව පෞද්ගලික අංශයේ ආයතන විසින් ජපානයේ රැකියා ලබාදෙන්නේ නම් ඒ පිරිසගේ ලැයිස්තුවද වෙබ් අඩවියේ ඇතුලත් කර තිබීම විශේෂත්වයක්.

ලෝකයේ දියුණු රටවල් ගොන්න මැද වැජඹෙන ජපානය වෙත යාම ලෙහෙසි පහසු නැත. රැකියා දසදහස් ගණනින් තිබුණත් ජපානයට යාමට හිතන තරම් ලේසි නැත. ජපන් යන්න බොහෝ අය හීන දකිනවා. ජපන් රැකියාවක නිරත වීමේ හීනය සැබෑ කරගත හැකියි. නමුත් ඒ හීනයට එකම බාධාව භාෂාවය. එනිසා ජපන් යන්න කැමැති නම් ඔබ මුලින්ම කළ යුත්තේ ජපන් භාෂාව හැදෑරීමයි.