hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 27, පෙ.ව. 3:24



දීර්ඝ කාලයක සිට අපි පාර්ලිමේන්තුවේ 225ට දෙස් දෙවොල් තබමින් සිටිමු. අනෙක් අතට. ඔවුන්ගේ ඊළග පරපුර පාර්ලිමේන්තුවට හුරු කිරීම සදහා පළාත් සභා, නගරසභා හා ප්‍රාදේශීය සභා වලට නිකරුනේ මුදල් වියදම් කරමින් සිටින්නෙමු.

ප්‍රාදේශීය සභාවේ ගමේ පාරකින් බෝක්කුවකින් හොරකම් හා නාස්තිය ප්‍රගුණ කරන මැතිඇමති දරු පරපුර හා හිතෛෂීහු පළාත් සභාව හරහා සිය `දස්කම්´ ඔප් නංවා ගනිමින් පාර්ලිමේන්තුවේ මිලියන ගණන් වලින් මහජන මුදල් කාබාසිනියා කරති. අපි ගෑස් පෝලිම් වල, තෙල් පෝලිම් වල කාලය කා දමමින්, මැරී වැටෙමින් තව දුරටත් ඔවුන්  පෝෂණය උදෙසා දහදුක් විදින්නෙමු. 

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල නගර සභාවේ මූල්‍ය අක්‍රමිකතා රාශියක් පිළිබදව කරුණු කිහිපයක් ජනතාව හමුවේ තැබීම මේ ලිපියේ පරමාර්ථයයි .එළිවෙන ජාමයේ කුසට අහරක් හෝ නොලබා පෝලිමේ ගොස් ගැසූ කතිරයට තමා පත්කළ මන්ත්‍රීවරුන් නිසි සාධාරණය ඉටුකළාදැයි මනසින් විමසා බැලීමත් ඊළග ඡන්දයේදී මේ පාඩම උගත් මොළයත් ඡන්ද පොලට   රැගෙන යාමත් කියවන ඔබගේ යුතුකමයි. 

2019වර්ෂයේ ජා-ඇල නගර සභාව විසින් රුපියල් 6,90,000 ගෙවා ටේලර් දෙකක් මිලට ගන්නා ලදි. එම යන්ත්‍ර සභාවේ  වත්කම් ලෙස ගිණුම් ගත විය යුතුය. නගර සභාව මගින් එම ටේලර් දෙක සදහා ගෙවීම් කල බව පිළිගන්නා නමුත් ඒවා සභාවේ වත්කම් ලෙස  ගිණුම් ගත කර නැත. 

වසර කීපයක සිට ජා-ඇල නගර සභාව ඇතැම් ස්ථාන වලට නොමිලයේ විදුලි සපයමින් සිටී. වසර ගණනාවක සිට අයවිය යුතුව තිබූ හිඟ විදුලි ගාස්තු අයකර ගැනීමට සභාව 2019 වර්ෂයේදී තවදුරටත් අපොහොසත් වී ඇත. එම හිගය මුදලින් රුපියල් 1,110,620 කි.

ගිණුම් වාර්තා විගණනයට නෑ

එසේම අයකර ගැනීමට තිබූ කර්මාන්ත 25කට අදාල මුදල්ද අයකර ගැනීමට නගර සභාව අපොහොසත් වී ඇත. එම අයකර නොගත් වටිනාකම් වල අගය රුපියල්  .66,91,399කි. ගණුදෙනුකරුවන්ගෙන් ලැබී, අගරු වී තිබූ චෙක්පත් හතරකට අදාල  රුපියල් 32,007ක මුදලක් නගර සභාව විසින් නොසලකා හැර තිබේ. ඉන් එකක් රුපියල්  22,404ක් වූ අතර එය වසර නවයක් තිස්සේ නොගෙවා පවතින්නකි. වසර පහක් තිස්සේ සභාවට අයකර ගැනීමට නොහැකි වූ චෙක් පතක්ද ඇත. 

රාජ්‍ය ආයතන සිය ගිණුම් වාර්තා වාර්ෂිකව විගණනයට ඉදිරිපත් කළ යුතු නමුත් 2019 වර්ෂයේ ගිණුම් විෂයයන් දෙකක් සදහා හිඟ ආදායම් වාර්තා නගර සභාව විසින් විගණනයට ඉදිරිපත් නොකළේ මන්ද යන්න ගැටළුවකි. රුපියල් 45,225,743 ක් වටිනා එම ආදායම් වාර්තා විගණනයට ඉදිරිපත් නොකිරීම නගර සභාව කළ බලවත් වරදකි. 2019 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණය මගින් නගර සභාවේ අඩුපාඩු රාශියක් පෙන්වා දී ඇත.

එම අඩුපාඩු සිදුවූයේ කෙසේද යන්න පිළිබදව පරීක්ෂණයක් සිදුකර ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කිරීම නගර සභාවේ වගකීමක් නොවන්නේද? මෙමගින් සභාව 104 වන මුදල් රෙගුලාසිය බිද දමා ඇත.

2012-2015 කාලයේ නගර සභාව මගින් ලබා දී තිබූ රුපියල් 1,58,749  වූ අත්තිකාරම් දෙකක් හා 2019 වර්ෂය තුළ ලබා දුන් රුපියල් 1,132,826 වූ අත්තිකාරම් 21ක් පියවා ගැනීමටද කටයුතු කර නොතිබීමෙන් සභාව විසින් 371(2) මුදල් රෙගුලාසිය උල්ලංඝනය කර තිබේ. එසේම වර්ෂ දෙක ඉක්මවා තිබූ රුපියල් 2,962,935ක තැන්පත් මුදලක් නියාදනය කිරීමටද සභාව අතපසු කර තිබේ.

2015 දෙදෙසැම්බර් 29 දින ලබාගෙන තිබූ බේලින් යන්ත්‍රය ප්‍රයෝජනයට ගෙන නැත.

නිර්වාස හා කඩා ඉවත් කිරීම් ලෙස හිඟ වරිපනම් රුපියල් 793,581ක් ග්‍රාමසේවක නිර්දේශයකින් තොරව කපා හැර තිබුණි. එසේම 2019 දෙසැම්බර් හිග ආදායම වූ රුපියල් 26, 588, 683න් රුපියල් 1,453,534ක් වසර පහක් ඉක්මවා යන තරම් පැරණිය. 

ටෙන්ඩර් නැති කඩ දීම

පොදු වෙළදපොලෙහි පිහිටි ගවමස් කඩය සඳහා 2019 කිසිදු ටෙන්ඩරයක් ඉදිරිපත්ව නොතිබුණි. මහා සභාවේ හදිසි තීරණයකින් අවම ටෙන්ඩර් මිල 10% කින් අඩු කරන ලද්දේ ටෙන්ඩර්කරුවන් ආකර්ෂණය කර ගැනීම සදහාය. එහෙත් එහි ප්‍රතිඵල ලැබීමටත් ප්‍රථම නැවතත් එදිනම එය 15% දක්වා අඩු කරන ලද්දේ කාගේ වුවමනාවකටද?? මේ හේතුවෙන් වාර්ෂික ටෙන්ඩර් වටිනාකම තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු වටිනාකමට වඩා රුපියල් 167,665 කින් අඩු වී තිබුණි. මෙය 2018 වර්ෂයට වඩා රුපියල් 371,275ක පාඩුවකි. ඌරුමස් කඩය (අංක 40) 2019 වර්ෂය සදහා බදු දෙන ලද්දේ රුපියල් 1,034,000 ක මිලටය. එය බදු දීමේදී සභාව ගිවිසුමකට එළඹ නැත. මේ හේතුවෙන් නැවත එහි මිල අඩු කිරීමට සිදුවිය.  අවසානයේ එකඟ වූ මිල, මුල් මිලට වඩා .රුපියල් 312,360ක පාඩුවක් සභාවට අත්පත් කළේය. 

2000 ජුනි 6 දින සභාවට ටොයෝටා වර්ගයේ වෑන් රථයක් මිලට ගෙන තිබේ. එය 2015 මාර්තු 19 දින අපහරණයට  නිර්දේශ ලබා දී ඇත. එසේ තිබියදී එන්ජිම හා අනෙකුත් අළුත්වැඩියාවන්  17ක්  සිදුකර 2017 වර්ෂයේ  රු.1,147,909ක් ගෙවා තිබේ. එතැන් සිට 2019 අගෝස්තු දක්වා   රුපියල්  501, 322ක  අළුත්වැඩියාවක් සිදුකර තිබේ. රියදුරු විසින් එන්ජිමේ ඔයිල් කාන්දු වීම හා ඕල්ටනේටරය අක්‍රීය වීම ඇතුළු දෝෂ 13ක් අලුත්වැඩියා කර දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස නැවත රුපියල් .1,441,300ක ඇස්තමේන්තුවක් 2019 මැයි  08 දින ලබාගෙන තිබුණි.

නගර සභාව විසින් භුක්ති විදින සෙක්කුවත්ත ක්‍රීඩා පිටිය අයත් බිම් කොටස් 18ක් පවරා ගැනීම සභාව විසින් අතපසු කර තිබේ.

නියෝග පැහැර හැරලා

2019 අප්‍රේල්  01 සිට 2019 මැයි 23 දක්වා මෝටර් ග්‍රේඩර දෙකක් කසල තුනී කිරීමෙහි යොදවා තිබේ. එම කාලය තුළ එක් මෝටර් ග්‍රේඩරයක් දිනකට පැය 10 ඉක්මවා දින 37ක්ද අනෙක දිනකට පැය 10 ඉක්මවා දින හයක්ද වෙන් වෙන්ව කසල  තුනී කිරීමෙහි යෙදුණි. පැය 10-21 අතර අසාමාන්‍ය පැය ගණනක් ඒවා කසල තුනී කිරීමෙහි යෙදුනේ වී නමුත් එම දිනවල දිනකට බැහැර කර තිබූ සාමාන්‍ය කසල  ප්‍රමාණය ට්‍රැක්ටර් ලෝඩ් තුනකි. 2019 මැයි 14 සිට  මැයි 20 තෙක් දින  හත තුළ  මුළු පැය 132ක් සදහා රුපියල් 745,500ක් එම ග්‍රේඩර දෙකට ගෙවා තිබුණද එම කාලය තුළ කසල බැහැර කිරීමේ ස්ථානයට කසල ගෙනැවිත් තිබුණේ නැත.

2018 දෙසැම්බර්  18 දින පවත්වන ලද ගිණුම් කාරක සභාව විසින්  2016 සෙක්කුවත්ත ක්‍රීඩා පිටියේ රුපියල් 1,130,435ක් වැයකර ඉදිකර තිබූ පැසිපන්දු ක්‍රීඩාපිටිය පරිහරණය කළහැකි තත්වයකට අළුත්වැඩියා කරන ලෙස නියෝග කර තිබුණි. එහෙත් නගර සභාව විසින් එම නියෝගය පැහැර හැර තිබේ.

බාහිර ප්‍රතිපාදන යටතේ මාර්ග තුනක සංවර්ධන කටයුතු සදහා 2018 වර්ෂයේ  රුපියල් 2,519,036ක මුදල් ලියාපදිංචි සමිති වෙත පවරා තිබූ අතර මෙම මාර්ග වල සංවර්ධන කටයුතු කර නොතිබූ තත්වයකදී ඒවා ඉටුකළ බවට ගෙවීම් වාර්තා සකස්කොට ප්‍රාදේශීය ලේකම්වරයා නොමග යවා මුදල් ලබා ගැනීමට සභාව තැත් කර තිබුණි.

සුදුවැල්ල කොම්පෝස්ට් අංගනයේ අභ්‍යන්තර මාර්ග සංවර්ධනය කිරීමේ 111 අදියරට රුපියල්  2,500,000ක ප්‍රතිපාදන වෙන්කර, කොන්ත්‍රාත්තුව පවරා නොමැති අවස්ථාවක ,මාර්ගයේ ABC අතුරා ඒ තුළ පස් පුරවා, මාර්ගය අසල සිමෙන්ති ගල් ගොඩගසා තිබුණි. කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම ඔහු ඉදිරිපත් කරන මිල ගණන්, ඔහුගේ පළපුරුද්ද ආදී නිර්නායක මත නොව පූර්ව අනුමැතියකින් සිදුවන බව මින් ගම්‍ය නොවන්නේද ??

මෙබඳු අත්තනෝමතික ,හිතුවක්කාර පාලනයක් සදහා ඔබ හා මගේ ඡන්දයෙන් මොවුන් බලයට පත්කර, අපේ බදු මුදලින් මොවුන්ට සියළු සුඛ විහරණයන් සලසා දිය යුතුද?? දේශපාලකයන් ජනතා සේවකයන් බවට පරිවර්තනය නොකොට රජුන් බවට පත්කිරීමේ දඩුවම් අපි ඇස් පනාපිටම විදිමින් සිටිමු. ඔවුහු අපෙන් පෝෂණය වෙමින් අපට භීෂණය පතුරති. මෙම ජා-ඇල නගර සභාව රටේ එක් පාලන ආයතනයක් පමණි. අනෙකුත් නගර සභා, ප්‍රාදේශීය සභා මීටත් වඩා ජනතා මුදල් කාබාසිනියා කර තිබිය නොහැකිද??? අප මෙවන් අර්බුධයකට ලක් කළේ මෙවන් නාස්තිකාර පිළිවෙත් හා අත්තනෝමතික තීරණ නොවන්නේද???? තීරණය ඔබ සතුය.