hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 27, ප.ව. 5:48



පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ප්‍රධාන පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත ලෝක යුනේස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ වසර 2500කට අධික අඛණ්ඩ ඉතිහාසය පිළිබඳ තොරතුරු රැගත් මහාවංශය සැලකෙන්නේ ලොව පැරණිම මෙන්ම දීර්ඝම ලිඛිත ඉතිහාස ග්‍රන්ථයක් ලෙසයි.

පරිච්ඡේද 99 කින් යුත් මහාවංශය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට යටත්වන තෙක්ම ලියා තිබෙන බවත් තිබ්බටුවාවේ මහානාහිමියන්ගෙන් පසු ඉදිරියට එය ලියන ලද භික්ෂූන් වහන්සේගේ නම පිළිබඳ සඳහනක් නොමැති බවත් විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දිසානායක මහතා පවසනවා.

පුස්කොළ පොතේ ඇති මහනුවර රාජධානි සමයේ අවසාන භාගයේ කොටසක් මල්වතු පාර්ශවයේ හිටපු මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ නාහිමියන් විසින් ලියා තිබෙන බවත් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ මහාවංශය පුස්කොළ පොත පතිතිරු 237 කින් සමන්විත බවත් ඒ මහතා පැවසුවා.

යුනෙස්කෝ සංවිධානයේ නිල වෙබ් අඩවිය පසුගිය 24 වැනි දින ප්‍රකාශයට පත් කළ ලෝක උරුම ලැයිස්තුවට මහාවංශය ඇතුළත් කර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය ආර්.මහේෂ්වරන් මහතා පවසනවා.

යුනෙස්කෝ සංවිධානය විසින් මෙම වසරේ ප්‍රකාශයට පත් කළ ලෝක වාර්තාමය උරුම ලැයිස්තුවට අයිතම 64 ක් ඇතුළත් වන අතර ඒ අනුව ලැයිස්තුවේ සමස්ත අයිතම සංඛ්‍යාව 494ක්.

මහාවංශය පිටපත් දිවයිනේ ස්ථාන කිහිපයක දක්නට ලැබෙන බවත් ඒවා සියල්ල නිරීක්ෂණය කර වාර්තාවක් සකස් කිරීම සඳහා රජය කමිටුවක් පත්කරන ලද බවත් ඒ අනුව මහාවංශය පැරණිම මෙන්ම අංග සම්පූර්ණ පුස්කොළ එකතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු බවට කමිටුව මගින් සනාථ කළ බවද මහේෂ්වරන් මහතා පැවසුවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාල පරිශ්‍රයෙහි ඉතා සුරක්ෂිතව තැන්පත්කොට ඇති වසර සිය ගණනාවක් ඉපැරණි මහාවංශය පුස්තකය ලෝක උරුමයක් වශයෙන් නම් කළ බවට ලිඛිතව රැගෙන යුනිස්කෝ සංවිධානයේ නියෝජිතයෙක් ඉදිරි දින කිහිපය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත පැමිණීමට නියමිතයි.