hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 8:50



ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියා කලාපයන් රට දිනෙන් දින බංකොලොත් භාවයට ඇද දැමීමට පාර කපයි. නිසි මුදල් කළමනාකරණයක්, නිසි සැලැස්මක් නොමැතිව කරන්නන්වාලේ මුදල් විසි කරමින් කරනු ලබන ව්‍යාපෘති වලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රට සංවර්ධනය  කරා ගෙන යාම හෝ දිළිඳු ජනයා නගා  සිටුවීම නොව, හිතපුරා ලබන අත යට ගනුදෙනුව පමණකි. එබඳු ආයතන අතර ප්‍රමුඛස්ථානයක් ලැබීමට සුදුසු ආයතනයක් ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නොබියව හඳුන්වා දිය හැකිය.

2009 අප්‍රේල් 16 දිනැති අංක 9/ 2009 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ  හතරවන ඡේදය උල්ලංඝනය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක එනම්, හක්මණ, පිටබැද්දර, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන් නවදෙනකු සඳහා අයථා ලෙස නිවාඩු දින වැටුප් ගෙවා තිබේ. ඒ ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සේවයේ යෙදී සිටි කාලය නිසි ලෙස තහවුරු කර නොගනිමිනි.  මෙසේ එම නිලධාරීන් වෙත ගෙවා ඇති මුදල රුපියල් 6,29,139 කි.ඒ 2022 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වාය.

ගෘහ ආර්ථිකය හා පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ,  හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිකිළි පැටවුන් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහි දී ප්‍රතිලාභීන් එකසිය දෙකක් අතර කිකිළි පැටවුන් 10 බැගින් බෙදා දෙන ලදී. මේ සඳහා වියදම් කරන ලද මුදල රුපියල් 4,59,000 කි.මෙසේ බෙදා දෙන ලද කිකිළි පැටවුන් 1022 කගේ ආරක්ෂාව පිළිබඳ නිසි සොයා බැලීමක්  හෝ පසු විපරමක් සිදු නොවීම නිසා මෙම සියලුම පැටව් මියගියහ. විශාල මුදලක් ශ්‍රමයක් හා අහිංසක ජීවිත දහසකට වැඩි ප්‍රමාණයක් නිකරුනේ විනාශ කර දමමින් එම වැඩසටහන සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.

ජාතික කෘෂි ගෙවතු සංවර්ධන වැඩසටහන හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ වසම් වසම් 34 ක ක්‍රියාත්මක කෙරිණි . තෝරාගත් එළවළු  වර්ගයන්ගෙන් එක් බඳුනක් බැගින් ඇසුරුම් කර ලබා දීමට මෙහිදී සැලසුම් කෙරිණි ඒ සඳහා තවාන් කරුවන් තිස් දෙනකු ට රුපියල් 862470 ක් ගෙවන ලදී එහෙත් නිසි සැලසුම්කරණයක් හෝ පසුවිපරමක් සිදු නොවීම නිසා එම ව්‍යාපෘතිය ද සම්පූර්ණයෙන් අසාර්ථක වූයේ තවත් විශාල මුදලක් කාබාසිනියා කර දමමිනි.

අංගසම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථික  සංවර්ධන වැඩසටහනක් සමෘධි පවුල් ලක්ෂ දෙකක්  උදෙසා ආරම්භ කරන ලදී. එහි එක් පියවරක් වශයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රතිලාභීන් 198 දෙනකු අතර ව්‍යාපාරික උපකරණ හා පැළ වර්ග බෙදා දෙන ලදී.තේ හා කුරුදු පැල මෙසේ බෙදාදුන් පැළ වර්ග විය 2022  නොවැම්බර් 24 දින අදාළ ව්‍යාපෘතිය පිළිබඳ භෞතික පරීක්ෂාවක් සිදු කරන ලදී. එහෙත් ඒ වන විට නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් කුරුදු වගාව  විනාශ මුඛයට ගොස් තිබිණි. සමෘද්ධ්   වසම් දෙකක මෙසේ බෙදා දෙන ලද තුන පහ ඇඹරීමේ යන්ත්‍ර ප්‍රයෝජනයට නොගෙන මුල් අදිමින් පැවතුණි. නිසි විශ්ලේෂණයකින් තොරව ප්‍රතිලාභීන් තෝරා ගැනීම නිසා මෙසේ එම ව්‍යාපෘතිය ද නිකරුණේ කළ මුදල් නාස්තියක් පමණක්ම විය.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය මෙරට දිළිදු ජනතාව ආර්ථික වශයෙන් යම් පමණකට ඔසවා තැබීමට පමණක් නොව දේශීය ආර්ථිකය පණ  ගැන්විමෙහි ලා ද යම් කාර්යභාරයක් ඉටුකළ හැකිව තිබූ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය යටතේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ග්‍රාම නිලධාරී වසම් දෙකක් ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් විසි හත් දෙනකු අතරේ කුකුළු පැටවුන් 1465 ක් බෙදා දෙන ලදී. ඊට වැයවූ මුදල රුපියල් 5,88,000 කි.එහෙත් මෙම සියලුම කුකුළු පැටවුන් මිය යන ලද අතර එම ව්‍යාපෘතිය ද මුළුමනින්ම අසාර්ථක විය.ඉහළ ගිය ජීවන වියදම හා ආර්ථික පීඩනය හමුවේ කුකුළු පැටවුන් නඩත්තු කිරීම ප්‍රතිලාභීන්ට ගැටලුවක් වූ අතර ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව ද නොවීය.

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ ම හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසමක ප්‍රතිලාභීන් විස්සක් සදහා රුපියල් 3,01,423 ක රජයේ වියදමින් පලතුරු පැල හා කෘෂි උපකරණ බෙදා දෙනු ලැබීය . එම පලතුරු පැල සතුන් විසින් කා දමා විනාශ වූ අතර බෙදාදුන් ජල මෝටර් දෙකක්, තාච්චි පහක්, විල්බැරෝ හතරක්, උදලුතල තුනක්, අලවංගු මල් බාල්දි ජල නල මෙන්ම ජල ටැංකි ද ප්‍රයෝජනයට ගෙන නොතිබුණි.

ග්‍රාම නිලධාරී වසම ක ප්‍රතිලාභීන් 72 දෙනෙකුට  බුලත් හා අන්නාසි වැවීමට හා රසකැවිලි නිෂ්පාදනයට  ආධාර වශයෙන් රුපියල් 12,018,299 ක් වැය කරන ලදී. එහෙත් මෙම ව්‍යාපෘතිය ද සුපුරුදු පරිදි අසාර්ථක වූයේ, එම නිෂ්පාදන විකුණා ගැනීමට මාර්ග සකසා නොතිබීම හේතුවෙනි. බොහොමයක් වගාවන් විනාශ විය. ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ පසු විපරමක් නොවීම නිසා මෙම මුදල් සම්භාරය ද නිකරුණේ විනාශ වී ගියේය.

2016-2021 ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා දෙපාර්තමේන්තුව අත්පන්දු ක්‍රීඩාංගන හතරක් ඉදිකරන ලද්දේ රුපියල් 9,149964ක වියදමිනි.  ඒ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය උදෙසාය .  එහෙත් ඒවායින් රුපියල් 6,823,091 ක් වියදම් කර ඉදිකල ක්‍රීඩාංගන තුනක් මේ වසර වන විටත් භාවිතයට ගෙන නැත.

2022 දී පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් හතළිස් නවයක් සඳහා නිවාඩු දින වැටුප් හා ගමන් වියදම් ලෙස රුපියල් 1251,121ක් ගෙවා ඇත. එහෙත් ඔවුන් ක්ෂේත්‍ර වල දී ඉටු කරන ලද රාජකාරි පිළිබඳ කිසිදු විධිමත් වාර්තාවක් සොයා ගැනීමට නැත.

දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය 2022 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාසයක ක්‍රියාත්මක විය . එහෙත් 2023 මාර්තු අග වන විට එසේ ලියාපදිංචි කරන ලද ග්‍රාම ශක්ති ජනතා සමිති 146 අතරින්  99ක්ම අක්‍රියව පැවතුණි. මෙම සමිති වල තැන්පතු ප්‍රමාණය රුපියල් 36,293,148කි.ක්‍රියාකාරී සමිති 47 එහි තැන්පතු ප්‍රමාණය වූ රුපියල් 23,906,661ක් සමග මුළු මුදල වූ රුපියල් 60,199,809ක මුදලක් වූ රාජ්‍ය බැංකුවල නිෂකාර්ය ව පවතී.

විධිමත් පරිදි අනුමත කර ගැනීමෙන් තොරව සේවකයින් 462ක අතිරික්තයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ යොදවා තිබේ. මේ අතර තෘතීයික මට්ටමේ නිලධාරීන් එක් අයෙක් හා ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් එක් අයෙක් වූ අතර අනෙකුත් 460 දෙනා ද්විතීක මට්ටමේ නිලධාරීන් ය. විධිමත් අනුමැතියකින් අනුයුක්ත කර නොතිබුණ ද මොවුන් සඳහා වැටුප් හා දීමනා නිසි පරිදි ගෙවමින් පවතී.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙතෙකින් නොනැවතී රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ගේ අංක 2 / 2018 හා 2018 ජනවාරි 24 චක්‍රලේඛය ද උල්ලංඝනය කරමින් මානව සම්පත් සැලැස්මක් පවත්වාගෙන නොයයි. වාර්ෂික කාර්ය සාධන ගිවිසුම් ද එහි දක්නට නැත.

ශ්‍රී ලංකාව මේ වනවිට බංකොලොත් රාජ්‍යයක් ලෙස නම් කර ඇත.මෙසේ අත්තනෝමතික ලෙස රටේ මුදල් නාස්ති කරමින් මොවුන් කටයුතු කරන්නේ කිසිදු වගකීමකින් තොරවය.එසේ නම් මේවා නතර කිරීමට ජනතාව පෙළ ගැසිය යුතු කාලය පැමිණ ඇත.එය ඔබේ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීමෙන් මතු පරම්පරාවට හෝ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගිය හැකි වනු ඇත.

බුද්ධික වීරසිංහ හික්කඩුව