hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 3:02



අටමස්ථානාධිපති ආචාර්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත්වීම තම පවුල්ට පමණක් නොව අසල්වාසී ඥාති පරපුරේ හැමෝටම සිටි මහා ශක්තිය අහිමි වුණා හා සමාන බව දඹුල්ල බුලාගල පල්ලේගම උන්වහන්සේගේ සහෝදර සහෝදරියන් හා ඥාතීහු පවසයි.

අපවත් වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් දඹුල්ල බුලාගල පල්ලේගම පදිංචි වී සිට ඇති අතර වයස අවුරුදු 13දී පල්ලේගම හේමරතන නා හිමියන් සහ උන්වහන්සේ එකම දිනයේ අටමස්ථානයට පැවිදි කිරීම සඳහා රැගෙන ගියදා පටන් තම ඥාතීන් දැඩි ගෞරවයෙන් යුතුව උන් වහන්සේලා ඇසුරු කළ බව ඥාතීහු සඳහන් කරයි.

පල්ලේගම සිරිනිවාස නා නාහිමියන්ගේ අපවත්වීම සැලවීමත් සමග උන්වහන්සේගේ පල්ලේගම පිහිටි නිවසට ඒෂියන් මිරර් අප කණ්ඩායම ගියා.

එම නිවසට ඒ වන විටත් තම සහෝදර සහෝදරියන් රැසක් පැමිණ කඳුලු සලමින් සිටින අයුරු දැක ගැනීමට හැකි වුණා.

උන්වහන්සේගේ මහගෙදර දැනට බාලම නැගණිය වන කල්‍යාණි කුමාරිහාමි මහත්මිය පදිංචිව සිටින අතර නිවස ඉදිරිපිට උදෑසනම කහ පැහැති කොඩියක් දමා ශෝකය ප්‍රකාශ කොට ඇත්තේ  අනෙකුත් ඥාතීන් සියළුදෙනා ගේම දැනගැනීම පිණිස  වුණා.

සිරිනිවාස නා හිමියන් පවුලේ නව දෙනෙකුගෙන් යුත් වැඩිමහල් සහෝදරයා වෙනවා.

කාන්තාවන් පස් දෙනෙක් සහ පිරිමි හතර දෙනෙකු මෙම පවුලේ වෙයි.

සිරිනිවාස නාහිමියන්ගේ ළමා කාලය පිළිබඳව සහ වර්තමාන කාලය පිළිබඳව අප සමඟ කතා කළේ උන්වහන්සේගේ තුන් වැනි සහෝදරිය කේ.එම් .ඩබ්ලිව්.පද්මා කුමාරිහාමි මහත්මියයි.

ඇය කියා සිටියේ තම සහෝදර නාහිමියන් වයස අවුරුදු 13දී සසුන්ගත වීම සඳහා අනුරාධපුරයට මව සහ පියා විසින් රැගෙන ගිය බවයි.

වයස අවුරුදු 13 වන විටත් තම පියාට ගොවිතැන්බත් කිරීම සඳහා තම නාහිමියන් අති විශාල කැපකිරීම් සිදු කරමින් සිටි බව ඇය හැඬු කඳුළින් පැවසුවා.

එමෙන්ම පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ බාල නැගණිය කල්‍යාණි කුමාරිහාමි මහත්මිය අප සමඟ කියා සිටියේ තම පවුලේ එක සහෝදරයෙකු මේ වන විට හදිසියේ මිය ගොස් ඇති බවයි.

මව සහ පියා ද මේ වන විටත් මිය ගොස් ඇති බව ද සඳහන් කළා.

නා හිමියන් පැවිදි වීම යන අවස්ථාව වන විට තමන් මෙලොව උපත ලද නැති බවද ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් සෑම වසරකම අප්‍රේල් එකොළොස් වන දින පවුලේ සියලුම සහෝදර සහෝදරියන් වාහනයක් රැගෙන නා හිමියන් බැහැදැකීමට යෑම සිරිතක් කරගෙන සිටි බවද ඇය සඳහන් කළා.

නා හිමියන්ගේ තුන්වෙනි මල්ලි විජේරත්න බණ්ඩා මහතා කියා සිටියේ තමන්ට මේ වන විටත් වයස අවුරුදු හැටක් පිරී ඇති බවයි.

නාහිමියන් පැවිදිවීමට යද්දී තමන් කුඩා අවදියේ  පසු වූ අයෙකු නිසා එතරම් මතකයක් නැති බවයි.

සහෝදර සහෝදරියන්ට මෙන්ම අවට ප්‍රදේශ වාසීන්ට සහ දිළිඳු පවුල් වලට විශාල වශයෙන් තම සහෝදර නාහිමියන් උදව් උපකාර කළ බව ඒ මහතා සඳහන් කළා.

නා හිමියන්ගේ ගිහි නම කේ.එම්.ඩබ්ලිව්.ජයතිලක බවද පැවසුවා.

නා හිමියන් කුඩා කල සිටි උපන් නිවසේ පැරණි ඡායාරූප රැසක් සංරක්ෂණය කොට තිබුණා.

නාහිමියන් පළමුව පැවිදි වූ දිනය මෙන්ම ඓතිහාසික වූ අවස්ථාවන් රැසක් මෙම නිවසේ සුරක්ෂිතව තබාගෙන තිබෙනවා.

අවට ඥාතීන් රැසක්ද උදෑසන සිටම නාහිමියන්ගේ මහ ගෙදරට පැමිණෙමින් සිටීම විශේෂත්වයක්.