hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූනි 17, ප.ව. 10:50



එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ කාර්යය බහුලත්වයෙන් පිරී යමින් තිබුණි. එවිට එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළේ වේලාව රාත්‍රී 09.30 බව සදහන්ව තිබුණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ.- 330 – 300 එයාර් බස් වර්ගයේ ගුවන් යානය ශ්‍රී ලංකාව බලා පැමිණීමට හීත්‍රෝ ගුවන් තොටුපළ ධාවන පථය වෙත පිවිස තිබුණි.

ගුවන් මගීන් 275 දෙනෙකු සහ කාර්ය මණ්ඩල නිලධාරීන් 15 දෙනෙකුගෙන් ද සමන්විත මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය එංගලන්තයේ වේලාවෙන්  රාත්‍රී 09.30 ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණීමට පිටත් විය.

මෙම ගුවන් යානය තුළ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කපිතාන් නවින් ද සිල්වා මහතාත්, ඔහුගේ සහායක ගුවන් නියමුවන් ලෙස බුවනික එස්.වීරසිංහ සහ තවත් නියමුවෙකු සේවය කරමින් සිටියහ.

මෙම ගුවන් ගමන ඍජු ගුවන් ගමනක් වූ බැවින් අතරමග වෙනත් කිසිදු ගුවන් තොටුපළක නොනවත්වා ධාවනයේ යෙදෙන අතර පැය 11 ක පමණ කාළයකින්, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.40 ට මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වීමට සැළසුම් කර තිබුණි.

මෙම ගුවන් යානය එංගලන්තයෙන් පිටත් වී පැයකට පමණ පසු , රාත්‍රී 10.30 ට පමණ තුර්කි ගුවන් සීමාවට ඇතුළු විය .

ඒ වනවිට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය අඩි 33,000 ක උසකින් පියාසර කරමින් තිබුණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ – 330 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක්

එහිදී තුර්කියේ ඇන්කාරා නුවර ප්‍රධාන ගුවන් ගමන් පාළක මැදිරිය මෙම ගුවන් යානය අමතමින්, මෙම ගුවන් යානය අඩි 35,000 දක්වා ඉහළට ඔසවා එම මට්ටමේ ගුවන් ගන්නා ලෙස දැනුම් දෙන්නට විය .

එම නියෝගය ක්‍රියාත්මක කිරීමට මොහොතකට පසු, මෙම ගුවන් යානයේ රේඩාර් පද්ධතිය පිරික්සූ මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමු නවින් ද සිල්වා මහතාට මෙම අඩි 35,000 උස සීමාවේ, මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයට සැතපුම් 12 ක පමණ පසුපසින් බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැමිණෙමින් තිබෙන බව දිස් විය.

මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වූ නවින් ද සිල්වා මහතා වසර 35 ක පමණ සේවා  කාළයක් ඇති,  ගුවන් නියමුවෙකු වශයෙන් බෝයිං 737 ලොක් හීඩ් ට්‍රයිස්ටා සහ එයා බස් 320 , 330 සහ 340 වර්ගයේ ගුවන් යානා පදවමින් මනා අත්දැකීම් ලත්, ගුවන් පියාසර පැය 20,000 කට අධික කාළයක් පියාසර කර ඇති අත්දැකීම් බහුලම ගුවන් නියමුවෙකි. එමෙන්ම නවින් ද සිල්වා මහතා තරුණ, නවක ගුවන් නියමුවන් පුහුණු කිරීමේ උපදේශකවරයෙකු ලෙසද සේවය කරමින් සිටී.

ප්‍රධාන ගුවන් නියමු නවින් ද සිල්වා මහතා

ඒ අනුව ඔහුට කිසියම් ගුවන් අනතුරක සේයා මතු වීමත් සමගම මේ පිළිබඳව ඇන්කාරා ප්‍රධාන ගුවන් පාලක මැදිරිය දැනුවත් කිරීමට පියවර ගත්තේය.

එහෙත් ඇන්කාරා ගුවන් ගමන් පාළක මැදිරිය යළිත් අපගේ ශ්‍රී ලන්කන් ගුවන් යානය අමතමින් දැනුවත් කළේ, මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයට සැතපුම් 60 කට පිටුපසින් මෙම අඩි 35,000 ක උස සීමාවේ වෙනත් ගුවන් යානයක් පමණක්  පැමිණෙමින් තිබෙන බවය.

මෙම බ්‍රිතාන්‍යය ගුවන් සේවයේ බෝයිං 787 ගුවන් යානය ද, ශ්‍රී ලන්කන් ගුවන් යානය පිටත්වීමෙන් විනාඩි කීපයකට පසුව ඩුබායි ඔස්සේ සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්ව තිබුණි.

සාමාන්‍යයෙන් සෑම නවීනතම ගුවන් යානයකම මේ ආකාරයට අහසේ පියාසර කරන ගුවන් යානා සහ ඒ සදහා අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා ගැනීම සදහා පරිගණක ගත කළ, විවිධ වර්ගයේ රේඩාර් පද්ධති හතරක් පමණ ස්ථාපිත කර තිබේ.

එහෙත් මෙම බ්‍රිතාන්‍යය ගුවන් යානය තුළ මෙම රේඩාර් පද්ධති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා, මෙම ගුවන් යානය ඇන්කාරා ගුවන් ගමන් පාළක මැදිරිය වෙත දිස් වී නොමැති වී තිබේ.

එහෙයින් දෙවන වරටත් ශ්‍රී ලන්කන් ගුවන් යානය විසින් මේ පිළිබඳව දැනුම් දීමත් සමග, මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයට සැතපුම් 12 ක් පමණ පිටුපසින් පැමිණෙන බ්‍රිතාන්‍යය ගුවන් යානය ඇන්කාරා රේඩාර් තීරයේ දිස් වන්නට පටන් ගෙන තිබේ.

ඒ වනවිට බ්‍රිතාන්‍යය ගුවන් යානය නාවික සැතපුම් 600 ක පමණ වේගයකින් අඩි 35,000 ක උසකින් ගමන් කරමින් තිබුණි.

එසේම ශ්‍රී ලන්කන් ගුවන් යානය අඩි 33,000 ක උසක සිට අඩි 35,000 දක්වා ගමන් කිරීමට සූදානමින් පැයට නාවික සැතපුම් 450 ක පමණ වේගයෙන් ශ්‍රී ලංකාව බලා ගමන් කරමින් තිබුණි.

ඒ වනවිට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයට පිටුපසින් අඩි 35,000 ක උස මට්ටමේ සැතපුම් 12 කට පිටුපසින් බ්‍රිතාන්‍යය ගුවන් යානයත් එයට සැතපුම් 48 කට පසුව තවත් වෙනත් ගුවන් යානයක් ද ගමන් ගනිමින් තිබුණි.

ජාත්‍යන්තර නීතියට අනුව සෑම ගුවන් යානා දෙකක් අතර පරතරය සැතපුම් 30 ක් පවත්වා ගෙන යා යුතු අතර, සමාන්තර දිශා වලට ගමන් කරන ගුවන් යානා අතර පරතරය අඩි 2,000 ක් විය යුතු බවටත් , එසේම විරුද්ධව දිශාවෙන්, මුහුණට මුහුණ ලා පැමිණෙන ගුවන් යානා දෙකක් අතර උස අඩි 1,000 ක පමණ පරතරයක් පවත්වා ගත යුතු බවට නිර්දේශයක් පවතී. 

මෙම සීමාවන් උල්ලංඝනය කරමින් අනවශ්‍ය ලෙස ගුවන් යානා එකිනෙකට සමීප වුවහොත් ඒ පිළිබඳව දැනුම් දීම සදහා ගුවන් යානය තුළ ස්වයංක්‍රීය පරිගණක පද්ධති කීපයක් ද සවි කර තිබේ .

ඇන්කාරා ගුවන් ගමන් පාළක මැදිරිය ද මෙම ගුවන් යානා දෙක , මෙම අඩි 35,000 ක උසේ දී අවදානම් සහගත ලෙස සමීප වීමට, හැකියාවක් පවතින බව වටහා ගත් සැනින් ශ්‍රී ලන්කන් ගුවන් යානයට තමන් මෙතෙක් ගමන් කරමින් සිටි අඩි 33,000 උස මට්ටමේම ගමන් කරන ලෙස උපදෙස් දීමට වහාම පියවර ගත්තේ ශ්‍රී ලන්කන් ප්‍රධාන ගුවන් නියමු නව්න් ද සිල්වා මහතාට ද ප්‍රශංසා කරමිනි.

ඒ අනුව නවින් ද සිල්වා මහතාගේ කෘතහස්ත, විචක්ෂණශීලී, පරිණත දැනුම තුර්කි ගුවන් සීමාවේදී සිදු වීමට හැකියාව තිබූ මහා ගුවන් අනතුරක්, තුර්කි ගුවන් ගමන් පාළකවරුන්ට සහ බ්‍රිතාන්‍යය ගුවන් සේවා නිලධාරීන්ට අලුත් පාඩමක් කියා දෙමින් වළකා ගැනීමට සමත් වී තිබුණි.

ඉන්පසුව මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය 06/14 දින දහවල් 12.40 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට නවින් ද සිල්වා මහතාට සහායක ගුවන් නියමුවන් දෙදෙනාට හැකි වී තිබුණි.

මෙම සිදුවීම අසුරු සැනින් ලොව පුරා ප්‍රධානතම මාධ්‍ය නාලිකා ඔස්සේ විකාශනය කිරීමට පියවර ගත්තේ, ශ්‍රී ලන්කන් ප්‍රධාන ගුවන් නියමු නවින් ද සිල්වා මහතාගේ කාර්යශූරත්වය, විචක්ෂණශීලීභාවය මහත් ඉහළින් අගය කරමිනි.

මෙම සිදුවීම පිළිබඳව සවිස්තරාත්මක ලොග් සටහනක් කටුනායක ගුවන් තොටුපළ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා බලධාරීන් වෙත ලබා දීමට නවින් ද සිල්වා මහතා පියවර ගෙන තිබුණි.

එසේම මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කිරීමට ද මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගනිමින් සිටිති.

ශ්‍රී ලන්කන් ප්‍රධාන ගුවන් නියමු නවින් ද සිල්වා මහතා එම සිදුවීම පිළිබඳව තැබූ ලොග් සටහන 

මේ අතර මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්, මෙම ගුවන් යානය පැදවූ ප්‍රධාන ගුවන් නියමුවරයාගේ කාර්යශූරත්වය සහ විචක්ෂණශීලීභාවය අගය කර ඇති අතර මෙම ගුවන් යානය එහි තිබෙන වටිනා උපකරණ සහ ගුවන් මගීන් පිරිස සුරක්ෂිතව රැක ගනිමින් නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ මෙම ගුවන් ගමන නිමා කිරීමට ලැබීම පිළිබඳව සතුට සහ ප්‍රසංශාව පළ කර තිබේ.

එමෙන්ම කිසිම විටෙක මෙම ගුවන් යානා එකිනෙකට ගැටීමට අවස්ථාවක් උදා නොවූ බව ද එම නිවේදනය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: