hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 15, පෙ.ව. 7:57



මිරිස්ස මුහුදු තීරය ගැන සදහන් කරන විට නිල් තල්මසුන් ගැන සදහන් නොකරම බැරිය. මිරිස්ස මුහුදු තිරය ලොව  ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ නිල් තල්මසුන් ඉතා සමිපව දැකගත හැකි මුහුදු තිරයක් ලෙසයි. එහෙත් මේ වන විට මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් මිරිස්ස මුහුදු තිරයේ තල්මසුන්ගේ ගහනය අඩුවි ඇති බව මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමය පෙන්වා දෙනවා.

ඇතැම් පුද්ගලයින් නීත්‍යානුකුල නොවන අයුරින් කුඩා බෝට්ටුවලින් විදේශිකයින් රැගෙන ගොස් තල්මසුන්ට හිංසාවන අයුරින් කිමිදිම් කටයුතු කිරිම නිසා මෙම තත්වය උදාවී ඇති බවද ඔවුහු පෙන්වා දෙනවා. ඇතමුන් තල්මසුන් සමඟ පිහිනමින් ඔවුන් අතපත ගාමින් කටයුතු කිරිම නිසා තල්මසුන් බිය වි මිරිස්ස මුහුදු තීරයෙන් ඈත්වෙමින් යන බවද මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමය පවසනවා.

මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමයේ  සභාපති රංගන මනෝජ් මහතා මෙසේ සඳහන් කළා,

“දැනට වසර තුනක පමණ සිට මිරිස්ස අවට මුහුදු තිරයේ නිල් තල්මසුන්ගේ ගැවසීම අඩුවෙලා තියෙනවා. නීත්‍යානුකූල නොවන අයුරින් ඇතැම් පුද්ගලයින් කුඩා බෝට්ටුවලින් විදේශිකයින් රැගෙන ගොස්  තල්මසුන් සමඟ කිමිදිමට පටන් අරගෙන තියෙනවා. මේ නිසා මෙම ව්‍යාපාරය කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. තල්මසුන්ට හිංසාවන අයුරින් කටයුතු කිරිම නිසා තල්මසුන් බය වෙලා මිරිස්ස අවට මුහුදු තිරය අත්හැර ගිහින් තියෙනවා. දැන්  විදේශිකයින්ට පෙන්වන්න තල්මසුන් නැහැ. ඩොල්ෆින් පමණයි පෙන්විමට හැකිවෙලා තියෙන්නේ. මුහුදේ නැති තල්මසුන් වෙනුවෙන් රුපියල් 7000ක මුදලක් විදේශිකයකුගෙන් අය කිරිම හරිම අසාධාරණයි. එම මුදල අඩුකරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. දියවැල් රටාව අනුව තමයි තල්මසුන් අපේ මුහුදට එන්නේ. උණුසුම් වතුර, කෑම සහ ගැඹුර නිසා තමයි තල් මසුන් මිරිස්ස අවට මුහුදු තීරයට එන්නේ. නමුත් ඒ සතුන්ට කරදර වෙන නිසා එම සතුන් මිරිස්ස අවට මුහුදු තිරය අත්හැරලා යනවා. තල්මසුන් බැලිමට මිරිස්ස ධිවර වරයෙන් යන බෝට්ටු සදහා රක්ෂණ සහතිකය, නාවික ඉංජිනේරු සහතිකය ආදි සුදුසුකම් සපුරාගෙන තමයි මුහුදට යන්නේ.

උණවටුණ, තල්අරඹ, බණ්ඩරමුල්ල, මාතර යන  ප්‍රදේශවලින් ද කුඩා බෝට්ටු වලින් තල්මසුන් බැලිමට විදේශිකයින් රැගෙන  යනවා. ඒ අයට වනජිවි දෙපාර්තමේන්තුවට කිසිදු මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. නමුත් මේ පිළිබද කිසිදු නියාමනයක් නැහැ. මිරිස්ස ධිවර වරාය තුල පමණයි මේ නීති ක්‍රියාත්මක වෙන්නේ. විදේශිය සංචාරකයකු රැගෙන නාවුක සැතපුම් 30 – 40 ගිහින් තල්මසුන් සමඟ කිමිදෙන බෝට්ටුවක් අල්ලන්න වෙරළ ආරක්ෂක බලකායට පුළුවන් කමක් නැහැ.‍ වනජිවියෙන් තල්මසුන් බැලිම සදහා රැගෙන යන විදේශිකයින්ගෙන් මුදලක් අය කරනවා.”

මේ මුදල් වලට වෙන්නේ මොනවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් මාසයකට එක් දිනයකදිවත් නිල් තල්මසෙක් දකින්න නැහැ. මේ නිසා තල්මසුන් බැලීම සදහා එන විදේශිය සංචාරකයින් අඩුවෙලා. මිරිස්ස ධිවර වරයෙන් තල්මසුන් බැලිම සදහා දෙස් විදෙස් විදේශිකයින් රැගෙන යන බෝට්ටු 60ක් විතර තියෙනවා. නමුත් දැනට මෙම ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්නේ බෝට්ටු පහක් හයක් පමණයි. තල්මසුන් දකින්න නැති දිනවල දි මුදල් අය කරන්න එපා කියලා අපි වනජිවි දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කළා. අපිට සහනයක් දෙන්න කියලා කිවා. නමුත් ඒ අයගෙන් සුභවාදි ප්‍රතිචාරයක් නැහැ.මෙම ව්‍යාපාරය රැකගෙන ඉදිරියට කරගෙන යන්න.”

මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමයේ  සභාපති රංගන මනෝජ් මහතා

තල්මසුන් නැරඹිම සදහා දෙස් විදෙස් සංචාරකයින් රැගෙන යන ව්‍යාපාරයක් පවත්වාගෙන යන මිරිස්සේ  චන්දි අබේවර්ධන මහත්මිය මෙසේ සඳහන් කර සිටියා.

“නිල් තල්මසුන් ඉතා සමිපව නැරඹිට පුළුවන් මිරිස්ස අවට මුහුදු තිරයේ දි පමණයි. දැනට වසර 16ක් තිස්සේ මෙම ව්‍යාපාරය අපි කරගෙන යනවා තල්මසුන් බැලිම සදහා රැගෙන යන.විදේශිය සංචාරකයින්ගෙන් අය කරන මුදලින් කොටසක් අපි වනජිවි දෙපාර්තමේන්තුවට ගෙවනවා. මේ තුලින්  විදේශිකයාට, යාත්‍රාහිමිකරුට රටට ප්‍රතිලාභයක් හිමි විය යුතුයි. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. විශාල මුදල් අරගෙන සංචාරකයින් 10 දෙනෙකු රැගෙන යනවාට වඩා සාමාන්‍ය මුදලක් අරගෙන සංචාරකයින් 100 දෙනෙකු රැගෙන ගියොත් රජයට මෙන්ම අපිටත් ප්‍රතිලාභයක් හිමිවෙනවා. 2011 වර්ෂයේ ඉදලා  මිරිස්ස අවට මුහුදු තිරයේ දි දක්නට ලැබුණු තල් මසුන් පිළිබද තොරතුරු අපි සටහන් කර ගන්නවා. සතුන් කිදෙනෙක් දැක්කාද ආදි කරණු අපි දිනපතා සටහන් කර ගන්නවා.”

මෙම වාර්තා දිහා බැලු විට නිල් තල්මසුන්ගේ ගහනය විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා. මෙම සංචාරක සමයේ දි නිල් තල්මසුන් දකින්නට ලැබුණේ ඉතා කලාතුරකින්. නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා තමයි තල්මසුන් බැලිම සදහා දෙස් විදෙස් සංචාරකයින් රැගෙන යන්නේ. දෙසැම්බර් 21 නිල් තල්මසුන් දෙදෙනෙකු දැක්කා. ඊට පස්සේ  නිල් තල්මසෙකු දැක්කේ හරියටම මාසයකට පස්සේ ජනවාරි 21 දින. මිට පෙර සීසන්වල දි දින 150ක් තල් මසුන් බැලිමට ගියහොත් දින 140කදිවත් නිල් තල්මසෙකු දක්නට පුළුවන් නමුත් දැන් නිල් තල්මසෙකු දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්. මේ සදහා හේතුවු කරුණු කාරනා ගැන සමුද්‍රජිවි විද්‍යාඥයින් විසින් ගවේෂණය කළ යුතුයි.”

තල්මසුන් නැරඹිම සදහා දෙස් විදෙස් සංචාරකයින් රැගෙන යන ව්‍යාපාරයක් පවත්වාගෙන යන මිරිස්සේ  චන්දි අබේවර්ධන මහත්මිය

මිරිස්ස ධිවර වරායේ තල්මසුන් බැලිම සදහා බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන බෝට්ටුහිමියකු වන ආර්. රාජසිංහ මහතා මෙසේ සඳහන් කළා.

“තල්මසුන් බැලීම සදහා රැගෙන යන බෝට්ටු 02ක් මටත් තියෙනවා. තල්මසුන් බැලී මට යන එක් විදේශිකයෙකු වෙනුවෙන් රුපියල් 7000 ක මුදලක් වනජිවියට ගෙවන්න ඕන. නමුත් ඒ අයගෙන් වෙන සේවාවක් නැහැ. වනජිවිය මගින් තල්මසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ අපිට සොයාදිය යුතුයි. නමුත් ඒ අයගේ එහෙම වැඩපිළිවෙළක් නැහැ. නැතිනම් ලබා ගන්න මුදල අඩුකරන්න ඕන. මුලදි කිවේ විදේශිකයකුගෙන් අය කරන්නේ ඩොලර් 08ක් කියලා නමුත් ඩොලර් දහඅටහමාරක් අය කරනවා. මේ මුදල් සැර වැඩියි. ඉන්ධන සදහා යන වියදම් එක්ක අපි විදේශිකයකුගෙන් ඩොලර් 60ක් අයකළ යුතු වෙනවා. නමුත් විදේශිකයින් කියනවා මුදල වැඩියි කියලා.”

වනජිවියෙන් අය කරන මුදල වැඩියි. පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා තල්මසුන් විශාල ප්‍රමාණයක් මැරිලා ගියා. නීත්‍යානුකුල නොවන අයුරින් විදේශිකයින් රැගෙන මිරිස්ස අවට මුහුදු තිරයට  තල්මසුන් බැලිම සදහා යන කණ්ඩායමක් ඉන්නවා.  ඔවුන් විදේශිකයින් සමඟ දියට බැහැලා තල්මසුන් සමග පිහිනනවා. මේ නිසා තල්මසුන් බය වෙනවා. මිරිස්ස වරාය අවට සිටි නිල් තල්මසුන් සොයා ගැනිම ඉතා අපහසු තත්වයට පත්වෙලා තියෙනවා. විදේශිකයින්ට තල් මසුන් පෙන්විමට නොහැකිවෙලා තියෙනවා. විදේශිකයින් කියනවා මිරිස්ස අවට තල්මසුන් නැහැ.බොරු කියනවා කියලා ඔවුන් අපිට කියනවා. තල්මසුන් බැලිම සදහා යන බෝට්ටු වලින් කෝටි ගණනක මුදලක් වනජිවි දේපාර්තමේන්තුවෙන් එකතුකරලා ඇති. නමුත් ඔවුන්ගෙන් කිසිදු සේවාවක් වෙන්නේ නැහැ.”

මිරිස්ස ධිවර වරායේ තල්මසුන් බැලිම සදහා බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන බෝට්ටුහිමියකු වන ආර්. රාජසිංහ  මහතා