hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 19, ප.ව. 4:14



බොහෝ ව්‍යාපෘතීන් නිසි සැලැස්මකට අනුව සිදු නොකිරීමෙන් ජනතා බදු මුදල් නිකරුනේ වියදම් වන අවස්ථා අනන්තවත් වාර්ථා වෙයි. පසුගිය රජය සමයේදී ගම සමග පිළිසදර ඔස්සේ සිදුවූ පානීය ජල ව්‍යාපෘතියක්ද අතරමග නතරවීමෙන් රුපියල් කෝටි ගණනක මුදල් වතුරේ ගසාගෙන ගොස් තිබේ.

බළංගොඩ, වලේබොඩ, කොවුල්කැටිය ප්‍රදේශයේ ආරම්භ කර ඇති රුපියල් කෝටි 25ක ඇස්තමේන්තුගත පානීය ජල ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතු වසර දෙකක පමණ කාලයක සිට අතරමග නතර වී ඇතැයි වලේබොඩ ජනතාව චෝදනා කරති.

ගම්මාන දහයකට වැඩි ප්‍රමාණයක පදිංචි පවුල් 7000කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීම සදහා ඉකුත් රජය මගින් මෙම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කල බව ජනතාව පෙන්වා දෙයි. මෙම ජල ව්‍යාපෘතිය මගින් ග්‍රාම සේවා වසම් 08කට පානීය ජලය දීම සදහා සැලසුම් කර තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචි ඊ. ඩබ්ලිව් ගුණදාස මහතා මෙසේ කීය.

අපේ ගම්මානවල ජනතාවට පිරිසිදු පානීය ජලය නැතිවීමෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුනදී තියෙනවා. ඔය අතරේ තමයි ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සදහා පසුගිය රජය මෙම ජල ව්‍යාපෘතිය 2021 වසරේදී ආරම්භ කලේ.  විශාල මුදලක් වැය කර එහි පළමු අදියර ලෙස විශාල ටැංකි දෙකක් ඉදි කලා.  එම ජල ව්‍යාපෘතියේ ටැංකි දෙක පමණක් ඉදි කර එය වසර දෙකක පමණ කාලයක් සිට නතර කරලා දාලා තියෙනවා. මේක මහා විශාල අපරාධයක්.  එම ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කලින් අපි අපේ මුදල් වැය කරලා වතුර පයිප්ප යට කරලා  ගෙවල් වලට වතුර අරන් තිබුනා.  ඒත් මේ ජල ව්‍යාපෘතිය ආරම්භ කරපු දවස් වල මෙයට බඩු ප්‍රවාහනය කිරීම සදහා පාරක් කැපුවා.  ඒ පාර කපන විට අපේ වතුර අරන් තිබුණ බට ටිකත් කැඩිලා ගියා. දැන් අපට වතුරත් නෑ. කෝටි 25ක ජල ව්‍යාපෘතියත් නෑ.  මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචි චමින්ද උඩකන්ද මහතා මෙසේ කීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් එක්ක ආරම්භ කල  ගම සමග පිලිසදර වැඩ සටහනට වලේබොඩ ප්‍රදේශයට පැමිණි දා කල යෝජනාවක අනුව තමයි මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කලේ. ලක්ෂ ගාණක් වියදම් කරලා ටැංකි දෙකක් පමණක් හදලා දාලා තියෙනවා. කිසිම ප්‍රයෝජනයක් නෑ. මෙහෙම මහජනතාවගේ මුදල් නාස්ති කරනකොට රටක් ඉතිරි වෙයිද කියලා තමයි අපි අහන්නේ. හැකි ඉක්මනින් රජයේ අදාල බලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බලා පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචි සිසිර සුගත් කුමාර මහතා මෙසේ කීය.

මෙම ජල ව්‍යාපෘතියේ වැඩ පටන් ගත් වසරේදීම තමයි මෙහි වැඩ නතර වුණේ.  හදපු ටැංකි දෙක මේ වන විට කැලෙන් වැහිලයි තියෙන්නේ. ඒවා දැන් දිනෙන් දින දිරාපත් වෙන තත්වයට පත්වෙලා. කවුරුත් මේ ගැන දැන් බලන්නේ නැහැ. මෙය ඉතාමත් අසාර්ථක ව්‍යාපෘතියක් කියලා තමයි කියන්න තියෙන්නේ.

ඉතින් නතර වී තිබෙන මෙම ජල ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කරලා ජනතාවට පානීය ජලය ලබා දීම සදහා කටයුතු කරන මෙන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.