hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අප්‍රේල් 14, පෙ.ව. 9:28



නිසි මාර්ග පහසුකම් සැලසීම රටක සංවර්ධන ක්‍රියාවලියන්ට මූලිකව බලපාන කරුණක්. අගනගර කේන්ද්‍ර කර ගනිමින් ඉදිවන්නාවූ අධිවේගී මාර්ග, ගුවන් පාලම් ග්‍රාමීය ජනතාවට සැමවිටම සිහිනයක්. එම සිහිනය යථාර්ථයක් වන බව දුටු බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනාකන්නිය ගම්මානයේ ජනතාවක් දුටු සිහිනයෙන් අවධිවනවාද නැද්ද යන උබතෝකෝටික ප්‍රශ්ණයකට මේ වන විට මැදිව සිටිනවා.

හාලිඇල, කැටවල, පනාකන්නිය හරහා වැටී ඇති පැරණි රජ මාවත සංවර්ධන කටයුතු ආරම්භ වන්නේ 2007 වසරේදීයි. එදා සිට වසර පහලොවක් ගෙවී ඇති මෙම කාලසීමාව තුලදී ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුනපා සිටිනවා.

වන්දි වලට වෙච්ච දේ

ඒ පිළිබදව ඒෂියන් මිරර් වෙත අදහස් දැක්වූ ඩී.එම්.ගුණපාල මහතා

“අපි උපන්දා ඉදලම ජීවත් වුනේ ගොවිතැන් කරලයි. අපේ ගම්මාන බොහෝම දුෂ්කරයි. මාර්ග පහසුකම් නොමැති නිසා අපේ වගාවක්වත් නිසි පරිදි විකුණ ගන්න බැරි වුණා. මේ අතර තමයි රජ මාවත හදනවා කියලා දැනගන්න ලැබුණේ. ඒක අවුරුදු ගානක අපේ හීනයක් සැබෑ වීමක් විදිහටයි අපි දැක්කේ. හැබැයි පාර හැදෙද්දී අපේ ඉඩම් පාරට ගන්න වෙන බවත් ඒ ඉඩම් පවරාගෙන වන්දියක් දෙනවා කියලත් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට දැනුම් දුන්නා. අපේ ගම සංවර්ධනය ගැන හිතලා සහ වන්දියක් ලැබෙනවා කියලා කියපු නිසා අපි ඉඩම් දෙන්න කැමති වුණා.

එහිදී මගේ ඉඩමේ තිබුණු ගම්මිරිස්, පුවක්, පොල්, තේ ආදී විශාල වගාවක් මාර්ගයට හසුවුණා. ඒ තිබුණු වගාවෙන් මම අවුරුද්දකට රුපියල් ලක්ෂ තුනක් විතර ඒ දවස් වල හම්බකලා. දැන් අවුරුදු 15ක් තිස්සේ එදා ලබපු ආදායම අපිට නැතිවෙලා. මේ විදිහට අපේ ගමේ බොහෝ ජනතාවකගේ ආදායම් මාර්ග අවහිර වුණා. නමුත් අපිට වන්දියක් ලැබෙන නිසා ඒ ගැන හිතලා අපි හිත හදාගත්තා. නමුත් දෙනවා කිවුව වගා වන්දි අද වෙනකම්ම ලැබිලා නැහැ. අපේ ඉඩම් පවරා ගැනීම් වගේම වගා වන්දි දෙන්න අවශ්‍ය ලිපි ලේඛණ නම් හැදුවා. ඒකත් වුණේ අපි නිරතුරුවම බළධාරීන්ව දැනුවත් කල නිසා කියලයි අපි නම් හිතන්නේ.”

ඉඩම් පවරාගෙන ගත් අමුතු ක්‍රමය

2012.08.17 වන දින නිකුත් කෙරුණු අංක 1771/32 අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ඉඩම් රජයට පවරා ගැනීම සිදු කෙරෙන්නේ මාර්ගය ඉදිකිරීම් අරඹා වසර පහකට පමණ පසුව වීමද ජනතාව තුල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

ඩී.එම්. ජයවතී මහත්මිය අදහස් දක්වමින් මෙලෙස අදහස් දැක්වූවා,

“2007 අවුරුද්දේ අග භාගයේදී තමයි අපේ ඉඩම් උඩින් පාර කැපුවේ. ඒ වෙනකොට අපේ ඉඩම් මැනලා කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ.  එහෙම පාර කපලා දමලා අවුරුදු ගානක් නිකම්ම තිබුණා. අවුරුදු ගානක් කිසිම වැඩක් සිදු කෙරුනේ නැහැ. ඒ වෙලාවේ තමයි අපි නිළධාරීන්ට මේ අවනඩුව කියන්න පටන් ගත්තේ.  අන්තිමේ අපි හම්බ කරගෙන කාපු වගාවත් නැතිවුණා. දෙනවා කිවුව වන්දියත් නැතිවුණා. පාර හැදුනෙත් නැහැ. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටයි ආර්ඩීඒ කාර්යාලයටයි ගිය වාර ගාන මතක නැහැ. ගිහින් අපේ දුක් ගැනවිල්ල කියපුවාම මොකක් හරි බොරුවක් කියනවා. දේශපාලකයෝ ගාවටත් ගියා. එයාලත් හරි හමන් උත්තරයක් අපිට දුන්නේ නැහැ. අපි හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. එදා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමති තුමා එහෙම ඇවිත් බෙර ගහලා තමයි වැඩ පටන් ගත්තේ.”

පාර මැද විශාල වලවල්

මෙසේ කාලය ගතව යද්දී 20G (4745) 11205 අංක යටතේ 2014.09.02 වන දිනෙන් මාගා ආයතනය විසින් මාර්ගය ඉදිකිරීම සදහා යෝජනාවක් වරාය හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.

කැටවල හරහා බදුල්ල – නුවර රජ මාවතේ කිලෝ මීටර් 25.2 දුරකින් යුත් මාර්ගය සැකසීමට අදාලව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. එහි සදහන් වන අකාරයට මිලියන තුනදහස් අටසිය දහයක (3,810,372,903.10) මුදලක් ඇස්තමේන්තු කර තිබුණා.

ජේ.එම් ගුණතිලක මහතා මේ පිළිබඳ අදහස් දැක්වූවේ මෙලෙසින්,

“මාගා ආයතනය ඇවිත් පාරේ වැඩ පටන් ගත්තා. මාර්ගය හැදෙන එක ගැන ඇත්තටම අපි ගොඩාක් සතුටු වුණා. පාරේ වැඩ අවරුදු එක හමාරක් විතර කරගෙන ගියා. හිටි හැටියේම 2015 අවුරුද්දේ ආණ්ඩුව පෙරලුනා විතරයි ඒ කොම්පැණියේ අය සේරම වැඩ අතරමග දාලා යන්න ගියා. ඊට පස්සේ වුණේ තවත් කරදරයක්. පාරේ තැන් තැන්වල භාගෙට හදපු බෝක්කු. පාර මැද විශාල වලවල්. රෑකට පාරේ යන්න බයයි. අපිට ආරංචි වුණ විදිහට මාගා ආයතනයටත් කරපු වැඩ වලට විශාල මුදලක් ගෙවලා නැතිලු. ඉතින් අපි කල්පනා කලේ පාර හදන්න ආපු අයටම ගෙවීම් කරලා නැතිනම් අපිට මොනවා වෙයිද කියලයි. අපිට දරුවන්ගේ අනාගතය ගැන හිතන්න විදිහක් නැහැ. අපිට දැන් හරි හමන් ආදායම් මාර්ගයක් නැහැ. මේ දේවල් කියන්න කෙනෙකුත් නැහැ.”

මං තීරු දෙක එක් මංතීරුවකට සීමා කරලා

මාර්ගයේ ඉදිකිරීම් දෙවන වරටත් අක්‍රිය වෙද්දී නැවත වරක් RDA/PD/UVA/W/69 අංක යටතේ 2016.08.04 වන දිනෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක ටී.කේ.එම්. ගලප්පත්ති මහතා විසින් මෙම මාර්ගය සැකසීම වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

කිලෝ මීටර් 25.2කින් යුත් මාර්ගය සැකසීම වෙනුවෙන් රුපියල් මිලියන දෙදහස් හයසිය තිස් නවයක (2,639,852,303.03) මුදලක් ඇස්තමේන්තුවක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

නමුත් 2015 වසරේදී මාර්ගයේ නතර වුණු වැඩ වසර ගණනාවක් යනතෙක් නැවත ආරම්භ නොකෙරුණු බවයි ජනතාව පවසන්නේ.

මීටර් 3.2 මංතීරු දෙකකින් යුක්තව මාර්ගය සැකසීමට සැලසුම් යෙදුනද මේ වන විට එය එක් මංතීරුවකට පමණක් සීමා වෙමින් මාර්ගය සැකසීම පසුගිය මාස කිහිපයක සිට නැවත ආරම්භවී තිබෙනවා.

වන්දිත් නෑ පාරත් නෑ

ඩී.එම්.පී.බී. දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා.

“මෙම මාර්ගය සැසීම වෙනුවෙන් ඉඩම් ලබාදුන් පවුල් 60ක පමණ ජනතාවක් අද අන්ත අසරණ තත්වයකටයි ලක්වෙලා ඉන්නේ. අවුරුද්දකට ලක්ෂ තුනේ ඉදන් ලක්ෂ පහ හය ආදායම් ගත්තු ඉඩම් තමයි අපිට තිබුණේ. ඉතින් ඒ හැම දෙයක්ම පාරට පවර ගත්තා. අපිට පවරා ගත්තු ඉඩම් වලට වන්දි මුදලක් ලැබුනෙත් නැහැ. පාර හැදුනෙත් නැහැ. 2015 අවුරුද්දේ පාර හදන එක අතරමග දාලා ගියාට පස්සේ අවුරුදු 7ක් යනකම්ම පාර නැවත හැදුනේ නැහැ. හොයලා බලනකොට සල්ලි නැහැ තමයි කියන්නේ. සල්ලි නැත්කම් පාර හදන්න පටන් ගත්තේ ඇයි.

දැන් මාස කිහිපකට ඉහතදී නම් පාර හැදෙන්න පටන් අරගෙන තියෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. මම හිතන්නේ කිලෝ මීටර් 25ක දුරක් සංවර්ධනය කරන්න වැඩිම කාලයක් ගතවුණු මාර්ගය හැටියට මේ රජ මාවත ඉතිහාස ගතවෙනවා නියතයි. හැබැයි මේ අය පාර හදන්න වැඩ ආරම්භ කලත් එයාලට අමතක වෙලා තියෙනවා මේ මාර්ගය හදන්න යෝජනාවී තිබුනේ මංතීරු දෙකකින් බව. මංතීරු දෙකකට තමයි අපේ ඉඩම් අරගත්තේ. අද හැදෙන්නේ එක් මංතීරුවක් විතරයි. බොරුවට මිනිස්සු රවට්ටන්න රජ මාවත කියලා මංතීරු දෙකකට ඉඩම් අරගත්තා.

මුලදි සැලසුම් කරලා එක් මංතීරුවකට ඉඩම් අරගත්ත නම් අද අපිට මෙහෙම හානියක් වෙන්නෙත් නැහැ. අපිට වෙච්චි හානිය සම්බන්ධයෙන් දෙනවා කිවුව වන්දි ඉල්ලගෙන දැන් අවුරුදු ගානක ඉදන් අදාල බළධාරීන් මුන ගැහෙන්න යනවා. ඒ හැම තැනකින්ම අපිට නිසි උත්තරයක් තවම ලැබුණේ නැහැ.  කොහොම නමුත් කමක් නැහැ අපිට දෙනවා කිවුව වගා වන්දි හැකි ඉක්මනින් ලබාදෙන්න අවශ්‍ය කටයුතු කර දෙන්න කියලා අදාල සියලුම බළධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.”

වන්දි දෙන්න මුදල් නෑ

මෙම වන්දි මුදල් ලබාදීමට අදාල ප්‍රධාන රාජ්‍ය නිළධාරියා ලෙසට කටයුතු කරන වත්මන් හාලිඇල ප්‍රාදේශීය ලේකම් සුභාෂ් නානායක්කාර මහතාගෙන් ඒෂියන් මිරර් විමසීමක් සිදුකලා.

ඔහු පවසන්නේ මෙවැන්නක්.

“බදුල්ල නුවර පැරණි රජ මාවත පුලුල් කර සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉඩම් අත්පත්කර ගැනීමක් සිදුවෙලා තිබෙනවා. එය ඉඩම් අත්පත්කර ගැනීමේ පනතට අනුවයි සිදකර ඇත්තේ. ඉඩම් අත්පත්කර ගැනීමේ නිළධාරියා ලෙසට ගැසට් වෙලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයායි. ඒ අනුව 2015 වසර වන විට මෙම ඉඩම් අත්පත්කර ගැනීම සිදු වෙලා තිබෙනවා.

වන්දි හිමිකම් ලබන අයට වන්දිය ලබාදෙන්න අවශ්‍ය පරීක්ෂණ සිදුකරලා ඔවුන්ගේ හිමිකමට අදාල මුදල සම්බන්ධව නිකුත් කෙරෙන ඉඩම් අත්පත්කර ගැනීමේ පනතේ 17වන වගන්තිය යටතේ ප්‍රකාශය මේ වන විට අප නිකුත් කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය තමයි මෙහි සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ. ඒ අනුව පවරා ගැණුනු ඉඩම් සදහා අවශ්‍ය වන්දි මුදල් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අප වෙත ලබාදිය යුතුයි. නමුත් තවමත් එම මුදල් අප කාර්යාලයට ලැබී නොමැති බැවින් වන්දි මුදල් ලබාදීමේ ප්‍රමාදයක් තිබෙනවා. එම මුදල් ලැබුණු වහාම 17වන වගන්තිය ප්‍රකාරව මුදල් ලබාදිය හැකියි.

මෙම වන්දි නොලැබීම සම්බන්ධයෙන් මහජන පැමිණිලි විශාල වශයෙන් පැමිණෙනවා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් මේ පිළිබදව 2015 වසරේ සිට ලිඛිත විමසීම්ද අප කාර්යාලයෙන් කිහිප වතාවක්ම සිදු කර තිබෙනවා.

මම මෙහි ප්‍රාදේශීය ලේකම් ලෙසට වැඩ භාරගෙන වසරක් පමණ වනවා. එම කාලය තුලදීත් මේ පිළිබදව මාර්ග සංවර්ධන කාර්යාලයෙන් විමසීම් සිදු කලා. නමුත් තවමත් ඒ සදහා මුදල් නොලැබීම මත ජනතාවට වන්දි ලබාදීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙන්නේ අදාල ඉඩම් අත්පත් කරගෙන අදාල ආයතනයට ලබාදීම සහ වන්දි පරීක්ෂණය සිදුකරලා එම වන්දි ලබා දෙන්නේ කාටද කියන එක තීරණය කිරීමයි. එය 17වන වගන්තියට අනුව සිදු කල යුතුයි. එය අප නිකුත් කර අවසන්. ඒ අනුව 17වන වගන්තියේ සදහන් මුදල අප කාර්යාලයට ලැබිය යුතුයි. ඒ ලැබුණාම තමයි අපට මුදල් නිකුත් කරන්න හැකි වන්නේ” යැයි ඔහු වැඩි දුරටත් සදහන් කළා.  ‍

මාගා ආයතනයේ යෝජනාව

මාර්ග සංවර්ධන අධිකාරියේ යෝජනාව

මහජන පැමිණිලි වලට ලැබුණු ලිපි

වන්දි ලබාදීමට ඉඩම් පවරා ගැනීම්

ජයලත් දිසානායක   –   බදුල්ල