hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 10:17



ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 600ක් දවාලූ පළමු වේගපන්දු යවන්නා ලෙස එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් ඉතිහාසයට එක් වුණා.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග සදම්ප්ටන් නුවර පැවැති තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනයේදි පාකිස්තාන පිලේ නායක අසාර් අලි දුන් උඩපන්දුවක් එංගලන්ත පිලේ නායක ජෝ රූට් රැක ගැනීමත් සමග ඇන්ඩර්සන්ගේ කඩුලු 600 වාර්තා වුණා.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 600ක් දවාලූ පළමු පන්දු යවන්නා ද ඇන්ඩර්සන් වන අතර, වැඩිම ටෙස්ට් කඩුලුලාභින් අතර ඔහු දැන් සිවුවැනි තැන පසු වෙනවා.

ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක යෙදුණු පාකිස්තාන පිල වර්ෂාවේ ආශිර්වාදයෙන් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් කර ගත්තද, 1-0 කින් තරගමාලාව ජයගැනීමට එංගලන්තයට හැකි වුණා.

තරගයේ අවසන් දිනයේදීත් වර්ෂාව බාධා ගෙන දුන් අතර, ඇන්ඩර්සන්ට කඩුලු 600 සම්පූර්ණ කිරීමට පස්වරු තේ පානයත් නිමාවට පත් වන තුරු බලා සිටීමට සිදු වී තිබෙනවා.

කඩුලු 600 සීමාව සම්පූර්ණ කළ ද, සිය කඩුලු පිපාසය සංසිඳුණේ නැති බව තරගයෙන් පසු ඔහු කීවේය. 38 හැවිරිදි වියේ පසු වන ඇන්ඩර්සන් සිය ඉලක්කය පිළිබඳ නිශ්චිතව යමක් ප්‍රකාශ නොකළත්, එංගලන්ත පිලේ ටෙස්ට් ජයග්‍රහණ වෙනුවෙන් තව දුරටත් දස්කම් දැක්වීම එකම අරමුණ බවයි කියා සිටියේ.

මුත්තයියා මුරලිදරන් කඩුලු 800ක් දවාලමින් වැඩිම ටෙස්ට් කඩුලුලාභීන් අතර පෙරමුණේ පසු වන අතර, ශේන් වෝන් කඩුලු 708ක් ලබා දෙවැනි තැන පසු වෙනවා.

තුන්වැනි ස්ථානයේ පසු වන්නේ කඩුලු 619ක් දවාලු අනිල් කුම්බ්ලේ.

මේ තිදෙනාම දඟ පන්දු යවන්නන් වීම විශේෂත්වයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: