hit counter

2025 ඔක්‍තෝබර් මස 25 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 02, ප.ව. 4:50



තම පත්වීම නීතිවිරෝධී යැයි නන්දන ගුණතිලක මහතා විශ්වාස කරන්නේ නම්, තමන්ට එරෙහිව නඩු පැවරීමට ඔහුට හැකියාව ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා අද (02) මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

රංග දිසානායක මහතා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් වන බවත්, ජනතා විමුක්ති පෙරමුණේ කමිටුවක සිටි බවටත් මීට පෙර නන්දන ගුණතිලක මහතා විසින් ප්‍රකාශයක් සිදුකර තිබුණා.

මෙය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ රංග දිසානායක මහතා අවධාරණය කළේ, තමා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නම්, විනිසුරුවරයෙක් ලෙසටවත් සුදුසු නොවන බවයි.

කෙසේවෙතත් අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ, නන්දන ගුණතිලක මහතා මීට පෙර තමන්ට විරුද්ධව පැවරූ නඩු ඉල්ලා අස් කරගත් බවයි.

එමෙන්ම, තමාට එල්ල වී ඇති තවත් චෝදනාවක් වන, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට වන චෝදනාව ද සම්පූර්ණ අසත්‍යයක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළා.

අර්ජුන් මහේන්ද්‍රන්ට විදේශ ගමන් තහනමක් තිබුණාද යන්න මතක නැති නමුත්, තමා කිසිසේත් එවැනි තහනමක් ඉවත් කිරීමක් සිදු නොකළ බව ඔහු එහිදී පැහැදිලි කළා.

රංග දිසානායක මහතා එහිදී කියා සිටියේ, තමන් 2018 දී කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කිරීමේදී  මහේන්ද්‍රන් ඇතුළු පිරිසට වරෙන්තු නිකුත් කළ බවයි.

කෙසේවෙතත් තමාට එරෙහිව දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් එල්ල කරන ලද චෝදනා රංග දිසානායක මහතා විසින් දැඩිව ප්‍රතික්ෂේප කළ අතර, මෙම ක්‍රියාවන් කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් බවට චෝදනා කළා.

2004 වසරේදී මහේස්ත්‍රාත්වරයෙකු ලෙසත්, 2020 දී මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත් කටයුතු කළ තමා, වසර 20 ක් තිස්සේ මෙම චෝදනාව නොනැගුවේ ඇයිදැයි ඔහු එහිදී ප්‍රශ්න කළා.

මෙම චෝදනා සත්‍ය නම්, ඔහු කළ යුත්තේ මාධ්‍යයට නොගොස්, අදාළ ලේඛන සහිතව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීම බව ඔහු නන්දන ගුණතිලක මහතාට අභියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: