hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:23



මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා අපනයන හා ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා රජයේ ආයතන දෙකකින් වැටුප් සහ වරප්‍රසාද ලබාගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද දින පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.

අදාළ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඔහු විශ්වවිද්‍යාලයෙන් හිමිවන පූර්ණ වැටුප සහ අනෙකුත් සියලු දීමනා ලබාගන්නා බව සඳහන් කළේය.

ඊට අමතරව, අපනයන හා ණය රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය වෙනුවෙන් හිමිවන රියැදුරු දීමනා, වෛද්‍ය දීමනා ඇතුළු සියලුම දීමනාවන් ද ඔහු එකවර භුක්ති විඳින බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

එමෙන්ම, අදාළ සභාපතිවරයා පසුගියදා සිය බිරිඳ ද කැටුව කැනඩාවේ සංචාරයක නිරත වී ඇති බවත්, ඒ සඳහා ගුවන් ටිකට්පත් වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වැය කරමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කළේය.

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් සම්බන්ධයෙන් වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් කර ඇති පසුබිමක, රුපියල් ලක්ෂ විස්සකට අධික මෙවැනි වංචාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරයා යටතේ පවතින අදාළ ආයතනය තුළ සිදුවන මෙම අක්‍රමිකතා පිළිබඳව වහාම සොයා බලා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ද චාමර සම්පත් දසනායක මහතා මෙහිදී මුලාසනයෙන් ඉල්ලා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: