hit counter

2026 ඔක්‍තෝබර් මස 21 වන බදාදා

2026 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:16



ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ සංස්කෘතිය සමඟ හදි හූනියම් වැනි විශ්වාස බද්ධ වී තිබුණ ද, රටට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම වඩාත් වැදගත් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ හදි හූනියම් සම්බන්ධයෙන් පැතිර යන අදහස් පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට සමාජය තුළ එවැනි විශ්වාස පැවතිය ද, රටට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීම පිළිබඳව ජනතාවට බලාපොරොත්තුවක් ඇති බවයි.

“මේ රටට, රටේ ආගමට සහ ජනතාවට හානි කළ අයට එරෙහිව නීතිය ශක්තිමත්ව හා කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වෙනුවෙන් කවුරුන් හෝ ප්‍රාර්ථනා කරනවා නම්, එහි අරමුණ පිළිබඳව මට ගැටලුවක් නැහැ” යනුවෙන් ඔහු පැවසීය.

දේශපාලන බලය සහ ආගමික භක්තිය භාවිත කරමින් ජනතාව නොමඟ යැවීම හෝ අයුතු වාසි ලබාගැනීම පිළිගත නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ආගමික කටයුතුවල නිරත වීමෙන් පමණක් පුද්ගලයකුගේ වැරදි ක්‍රියා වසන් කළ නොහැකි බව ද අවධාරණය කළේය.

තවද, දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් පිළිබඳ කටයුතු කිරීමේදී අදාළ විමර්ශන ස්වාධීනව සිදු කර, සාක්ෂි මත පදනම්ව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහසයි.

“හූනියමකින් යම් බලපෑමක් කළ හැකි යැයි කෙනෙකු විශ්වාස කරනවා නම්, එම බලයෙන් හෝ අදාළ නඩු කටයුතු සාර්ථක වී, විමර්ශන කඩිනම් වී, සොයාගැනීමට නොහැකි වූ සාක්ෂි සොයාගැනීමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. නමුත් රටට යුක්තිය ඉටු විය යුත්තේ නීතියේ ක්‍රියාකාරිත්වය තුළින්” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රටේ සම්පත් විනාශ කළ, ජනතාවගේ විශ්වාසය පළුදු කළ සහ ආගමික වටිනාකම් දේශපාලන වාසි සඳහා යොදාගත් බවට චෝදනා එල්ල වන පුද්ගලයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වීම අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: