hit counter

2026 නොවැම්‍බර් මස 20 වන සිකුරාදා

2026 නොවැම්‍බර් 21, පෙ.ව. 12:19



මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

පසුගිය මාසය අවසානයේදී මෙරට උද්ධමනය සියයට 8.3ක් ලෙස වාර්තා වූ බවත් ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

ඊයේ (20) දින මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ,

“අපි 2026 මැයි මාසයේ පොලී අනුපාතය වැඩි කරන අවස්ථාවේදී ඒ වෙලාවේ තිබුණු පුරෝකථනය තමයි උද්ධමනය සියයට 7ක් වගේ මට්ටමකට නැවත අඩුවෙයි කියන බලාපොරොත්තුව.

නමුත් දැන් දකින පුරෝකථනය අනුව, බලාපොරොත්තු වූ ආකාරයට විශේෂයෙන් ජාත්‍යන්තර තත්ත්වය ඊට වඩා දීර්ඝ කාලයක් පැවතුණා. ඒ අවස්ථාවේ මේ යුද තත්ත්වය කෙටි කාලීනව පවතී, ඊට පසුව මේ තෙල් මිල යම්කිසි ආකාරයකට ස්ථාවර වෙයි කියලා බලාපොරොත්තු වුණා.

නමුත් ඒක මේ මෑතක් වෙනකන්ම ඉහළ මට්ටමක පැවතුණා. ඒක නිසා උද්ධමනයත් අපි බලාපොරොත්තු වුණාට වඩා ඉහළ මට්ටමකට ගියා. ගිය මාසයේ උද්ධමනය සියයට 8.3ක් වුණා. අපිට පේනවා ලබන මාසය විතර වනවිට සියයට 9ක් හෝ ඊට ඉහළ හෝ ඊට ආසන්න මට්ටමක මේ උද්ධමනය පවතින බවට අපේ පුරෝකථනයේ පෙන්නුම් කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: