hit counter

2026 නොවැම්‍බර් මස 23 වන සඳුදා

2026 නොවැම්‍බර් 24, පෙ.ව. 12:23



පසුගිය රජය සමයේ සම්මත කරගත් දූෂණ විරෝධී පනත යටතේ කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සැබෑ ලෙස සක්‍රීය වී කටයුතු ආරම්භ කළේ වත්මන් රජය ලැබූ ජනවරමත් සමඟ බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රාජ්‍ය වියදම් ප්‍රගතිය සහ අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විපක්ෂය නගන විවේචනවලට පිළිතුරු ලබා දුන්නේය.

රටේ ආයතනික ව්‍යුහයන් සහ යල්පැනගිය නීති පද්ධතීන් පවතින රාමුව තුළ තරුණ නිලධාරීන්ට පවා ස්වාධීනව කටයුතු කිරීමට ඇති බාධා පෙන්වා දුන් අමාත්‍යවරයා, 2015 වසරේ සිට පසුගිය රජයන් යටතේ පැවති ප්‍රාග්ධන වියදම් ප්‍රගතිය සංසන්දනය කර පෙන්වා දුන්නේය. එහිදී 2016 යහපාලන රජයේ දෙවන වසරේදී ප්‍රගතිය සියයට 50 දක්වා පහත වැටී තිබූ බවත්, 2024 දී එය සියයට 47ක්ව පැවති බවත් සිහිපත් කළ ඒ මහතා, වත්මන් පාලනය යටතේ එය සියයට 77 ඉක්මවා සියයට 80 සීමාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව පැවසීය.

අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂයෙන් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“සමහරු කියනවා මේ අල්ලස් කොමිසම රනිල් වික්‍රමසිංහ මහතා හදපු එකක් කියලා. රනිල් හදපු අල්ලස් කොමිසමෙන් අල්ලපු කෙනෙකුත් නෑ ඒ පනත හරියට වැඩ කළෙත් නෑ. 2023 සැප්තැම්බර් 15 වැනිදා සම්මත කරගත් අලුත් පනතේ තිබුණු දුර්වලතා සහ කොමසාරිස්වරුන් ඉල්ලා අස්වීම් වැනි ප්‍රශ්න නිසා අලුතින් එකම පැමිණිල්ලක්වත් විභාග කරගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ පනතින් වැඩ පටන් ගත්තේ මේ ජනවරමත් එක්කයි. වත්මන් අල්ලස් කොමිසම කරන කාර්යභාරය අපි අගය කරනවා වගේම, එය තවදුරටත් ශක්තිමත් කර දිස්ත්‍රික් මට්ටමට ව්‍යාප්ත කරමින් විමර්ශන පුළුල් කළ යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: