hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 මාර්තු 08, පෙ.ව. 12:20



ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවසුවා.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් වාහන ආනයනය සම්බන්ධයෙන් මෙම කොන්දේසි පනවා ඇති බවයි එහිදී ඔවුන් පැවසුවේ.

එමෙන්ම, ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, ආනයනය පිළිබඳ අවසරය අත්හිටුවන බවයි නිලධාරීහු ප්‍රකාශ කළේ.

නිසිකාලය තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා 3% සිට 45%ක උපරිමයක් දක්වා දඩ මුදලකට ද යටත් වනවා.

එසේම පුද්ගලික මට්ටමින් වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකි බවත්, ව්‍යාපාරයකට එවැනි කොන්දේසියක් නොමැති බවත් එහිදී සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දේශීය විදුලි වාහන කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තිමය සහාය ලබාදීමට වන ඉල්ලීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර දේශීය විදුලි වාහන නිෂ්පාදකයින් සඳහා යෝජිත රේගු ආනයන බදු සහ අධිභාරයෙන් නිදහස් කිරීම සම්බන්ධ ඉදිරියේදී සාධනීය ලෙස සලකා බැලිය හැකි බව නිලධාරීන් ප්‍රකාශ කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: