hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 12, පෙ.ව. 12:07



මාලබේ හල්බරාවේ පදිංචි අවුරුදු පහයි මාස හයක් වයසැති ජොනතන් මාර්ක් ෆොන්සේකා නැමැති දරුවාගේ මළ සිරුර ප්‍රදේශයේ වැඩ බිමක තිබියදී හමු වුනා.

ඒ උදරයේ කැපුම් තුවාලයක්ද සහිතවයි.

දරුවාගේ මරණය සැලවීමට පැයකට පමණ පෙර ප්‍රදේශයේ කාන්තාවක් දරුවා එම වැඩ බිමේ සිටින ආකාරය දැක තිබුණා.

“මම වැඩ ඇරිලා එන කොට මේ පුතා වත්තේ මැදක් හරියේ හිටියා. තණකොළ කපන එක්කෙනෙක් හිටියා. එහා පැත්තට වෙන්න.”

මුල්ලේරියාව පොලිසිය තණකොළ කැපූ පුද්ගලයාගෙන් දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පාපොච්චාරණය කර තිබුණේ තණකොළ කපන යන්ත්‍රයේ තලය දරුවාගේ උදරයේ ගැටී බරපතළ කැපුම් තුවාල සිදුවී දරුවා මියගිය බවයි.

ඔහු මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

51 හැවිරිදි එම පුද්ගලයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ලබන ජුනි පහළොස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

දරුවාගේ දේහය භාරකරුවන් වෙත පෙරේරා රාත්‍රියේ භාර දුන් අතර දේහය තලාහේන පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණා.

මවගෙන් සහ දරුවාගෙන් වෙන්ව ජීවත් වූ පියාද සිය පුතුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.

මියගිය පුංචි ජොනතන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර තිබූ තලාහේන පෞද්ගලික මල් ශාලාවට ඊයේ (11) විශාල පිරිසක් පැමිණ සිටියා.

අවුරුදු පහ හමාරක් වයසැති පුංචි ජොනතන්ට පාසල් යෑමට හැකිවී තිබුණේ මාස දෙකක කාලයක් පමණයි.

ඒ කෙටි කාලයේදී පවා යහළුවන් සමඟ ඉතා හොඳින් හිතවත් වූ ජොනතන්ව අවසන් වතාවට දැක බලා ගැනීමට ඔහුගේ මිතුරු මිතුරියන්ද ඊයේ පැමිණ තිබුණා.

ජොනතන්ගේ යහළුවන්,

“මගේ හොඳම යහළුවා ජොනී.. ඒයා මට කෑම දෙනවා…”  

ජොනතන්ගේ ගුරුවරිය, 

“ජොනතන්ට මම කියන්නේ ආදරේට කියන්නේ ජොනී කියලා අපි කථා කරන්නේ. මට ඇත්තටම දුකයි මගේ දරුවා අද මෙතනින් යනවා වෙන්වෙලා. මම දෙමව්පියන්ට කියන්නේ දරුවන්ට මීට වැඩිය රැකවරණය දෙන්න. ආරක්ෂාව ලබලා දෙන්න.”  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: