hit counter

2024 දෙසැම්‍බර් මස 24 වන අඟහරුවාදා

2023 ජනවාරි 19, ප.ව. 3:05



චතුරිව එදා දවසේ මරන්න හිතාගෙන මම තුන් තැනකට ඇයව එක්ක ගෙන ගියා. නමුත් ඒ තැන්වල කවුරු හෝ මා දිහා බලාගෙන ඉන්න බව දැණුන නිසා ඇයව එක්ක ගෙන තුරඟ තරග පිටියට ආවා යැයි කොළඹ තුරඟ තරග පිටිය පිටුපස පාපන්දු සම්මේලනය අසල පඩිපෙලක් මත සිය පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ කොළඹ සරසවියේ පසිඳු චතුරංග සිසුවා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිය පෙම්වතිය මරා දැමීමට හේතුව හැඩූ කඳුලින් කියන්නට වී තිබෙනවා.

“මට ලොකු බයක් තිබුණා චතුරි මාව දාල යයි කියල. චතුරි වෙන කෙනකුට අයිතිවෙයි කියල ලොකු බයකිනුයි මම හිටියේ. එයා මාස කිහිපයකට කලින් මට කිව්වා අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියල. ඒ නිසා මම හැම තිස්සේම හිටියේ එයා මට නැති වෙයි කියල බයෙන්.” යැයිද ඔහු පවසා තිබෙනවා.

දෙදෙනා පෙරේදා තුරඟ තරග පිටිය වෙත යන්නේද පෙරවරු 11.30ට පමණ දේශන අවසන්ව එහි ගොස් පෙම්බස් දොඩන්නටයි.

සිය පෙම්වතිය තමාට අහිමි වන්නේ නම් ඇයව වෙන කිසිටවකුට අයිති වන්නට නොදෙන බවට වූ සිතුවිල්ල මෙම සැකකාර සිසුවාගේ සිතේ නිතරම රැඳී තිබූවක් බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

වෙන කිසිවකුට හිමි නොවන්න ඔහු තීරණය කරගෙන සිට ඇත්තේ ඇයව මරා දමන්නටයි.

කල්තියාම ඔහු ඊට සූදානම්ව සිට ඇති බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඔහු සිය ගමන් මල්ලෙහි කුඩා පිහියක් තබාගෙන සිට ඇත්තේ ඒ නිසායි.

එම පිහිය ඔහු මිලදී ගෙන ඇත්තේ වැල්ලම්පිටියේ වෙළඳ සැළකින් බවද දැන් පොලීසිය හෙළිකරගෙන හමාරයි.

පෙම්වතිය මරාදැමීමේ චේතනාවෙන් ඔහු සිට ඇති බවට ඔහුගේ කටඋත්තරවලින් පෙනී යන බව ද පොලිසිය පවසනවා.

සප්‍රයිස් එකක් දෙන්න ඇස් වහ ගන්න යැයි කියලා ඇයගේ ගෙල කපා දැමූ බව ද ඔහු පවසා තිබෙනවා.

පසුව ඇය දෑස් හැර කෑ ගසා තිබෙන අතර ඔහු දිව විත් දුම්රියට පැන දිවි නසා ගැනීමට දෙවරක් උත්සාහ දරා ඇති නමුත් දුම්රිය පැමිණෙන විට අදහස වෙනස් කර ගෙන නැවත වැල්ලම්පිටිය සිය නිවෙසට ගොස් ඇති බව වාර්තා වෙනවා.

බෑගය සහ මුදල් පසුම්බිය එහි තබා නැවත කොහිලවත්තට පැමිණ කැලණි ගඟට පැන තිබෙන අතර පිහිනීමට දැන සිටි නිසා ගිලි නොයා පිහිනා විත් නැවත ගොඩට පැමිණ ඇති ඔහු තෙත පිටින්ම ත්‍රිරෝද රියක නැඟ සිය නිවෙසට යළිත් පැමිණ තිබෙනවා.

ඒ අවස්ථාවේදීම පොලිසිය පැමිණ ඔහු රැඟෙන විත් තිබෙනවා.

ඔහුගේ අසල්වැසියකු වන කේ.එස් වීරසිංහ මහතා මෙසේ ඔහු ගැන කීවා,

“මේ තරුණයා බොහොම අහිංසක විදියට ගමේ ජීවත් වෙන්නේ. කිසිම කෙනකුට කරදරයක් නැහැ. ගෙදර ඉන්නවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ගෙදරට වෙලා එයයි, නංගියි දෙන්නා පාඩම් කරන එක තමයි කරන්නේ. එයාගේ අම්මයි තාත්තයි වැඩට යනවා. මේ දෙන්නා ගෙදරට වෙලා පාඩම් කරන එක තමයි වැඩේ. කිසි කෙනකුට කරදරයක් නැති අහිංසක පවුලක්. අවුරුදු තුනකට කලින් සියදිවි හානිකර ගන්න ගියා. මෙයා බලාපොරාත්තු වුණු කැම්පස් එකට යන්න ලැබුණේ නැහැ කියලා හිතේ අමාරුවට එල්ලිලා මැරෙන්න ගියා. එයාගේ නංගි ස්කෝලෙට ඇරලලා ගෙදර ඇවිත් ගේ පිටිපස්සේ තමයි එල්ලිලා තියෙන්නේ. ඒ වෙලාවෙත් අපි තමයි ඒක දැකලා ඉක්මණින් රෝහලට අරන් ගිහින් ජීවිතේ බේරා ගත්තේ.

දවස් හතරක් පහක් විතර දැඩි සත්කාර ඒකකයෙත් හිටියා. කොහොම හරි ජීවිතේ බේරුණා. ඒත් එදායින් පස්සේ මේ ළමයා ටිකක් වෙනස් වුණා. වැඩියෙන් කේන්ති යනවා. අපි දන්නා තරමින් මානසික අසනීපයකට බෙහෙතුත් ගන්නවාලු. කොහොම හරි මේ ළමයාට සමාජ ඇසුරක් නැහැ. ගෙදරටම වෙලා ඉන්නවා. පෙරේදා රෑ මේ සිද්ධිය වුණායින් පස්සේ ගඟට පැන්නා මැරෙනවා කියලා. ඒ වෙලාවෙත් බේරාගෙන තියෙනවා. මේ ළමයා ගමේ පාසලෙන් ඉගෙන ගෙන තමයි කැම්පස් ගියේ. මේ ළමයාගේ අම්මා තේ කර්මාන්ත ශාලාවක සේවය කරනවා. තත්තා විවිධ ව්‍යාපාර කටයුතු කරනවා.”

මේ අතර අදාළ තරුණයා ජීවත්වන ප්‍රදේශයේ පදිංචි අසංක කුමාර මහතා සඳහන් කළේ,

“මේ ළමයාගේ පවුලේ කට්ටිය ගමට ආවේ මම දන්න විදියට අවුරුදු පහකට හයකට විතර කලින්. ගැහැණු ළමයෙක් මරලා දැම්මා කියලා අපිට ආරංචි වුණා. අපිට ඇත්තටම හිතා ගන්න බැහැ ඒ ළමයා එහෙම දෙයක් කරයිද කියලා. මොකද ගමේ ජීවත් වෙන්නේ හරිම අහිංසක විදියටයි. කිසිම කෙනකුට කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අපිත් කනගාටු වෙනවා මෙහෙම දෙයක් කළා කිවුවම. සමහර විට කේන්තියකින් මෙහෙම දෙයක් කරන්න ඇති.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: