hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 07, පෙ.ව. 10:44



කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සැත්කමකට භාජන කළ දෙදරු මවක් සැත්කම සිදු කරන විට සිහි නැති කිරීමට විදින ලද එන්නත නිසා නැවත සිහි නොලබා පෙරේදා (05) උදෑසන 7.30ට පමණ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇගේ මරණය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා පවසන්නේ සිහිය නැති වීමට විදින ලද එන්නත නිසා ඇය මියගිය බවයි.

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචිව සිටි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී නමැති 35 හැවිරිදි දෙදරු මවක්.

මේ වන විට ඇගේ දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කෙරෙනවා.

ඇගේ මරණය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා පවසන්නේ සිහිය නැති කිරීමට විදින ලද එන්නත නිසා ඇය මියගිය බවයි.

ඇය මීට සති දෙකකට පමණ පෙර ඇසට කාච දැමීම සඳහා සැත්කමට භාජන වූ අතර ඇයට දැමූ කාචය නියමිත අයුරින් ඇසේ නොපිහිටා තිබූ බැවින් නැවත ශල්‍යකර්මයක් පෙරේදා (05) සිදු කරන ලදි.

මෙසේ ශල්‍යකර්මය සිදු කරන අතර තුළදී සිහි නැති කිරීමට විදින ලද එන්නත නිසා ඇය සිහි නොලබාම මියගොස් තිබෙනවා.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ අමෙරිකාවේ නිෂ්පාදිත කාචයක් දැමිය යුතු බවයි.

එය මිල අධික නිසා අසල්වාසී කාන්තාවක විසින් ඇයට කාච ලබා ගැනීම සඳහා උදව් කර ඇති බවත් ඥාතීහු පවසනවා.

“අපි පදිංචිව සිටින්නේ බොරලුකැටිය, ඌරගස්මංහන්දිය ලිපිනයේයි. වෘත්තියෙන් කම්කරුවකු වන මා බෞද්ධාගමිකයෙක් වෙමි. මියගොස් සිටින්නේ මගේ බිරියයි. අපි දෙන්නාට දාව අවුරුදු 17ක හා අවුරුදු 10ක දියණියන් දෙදෙනකු සිටිනවා. ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද පාසල් වයසේ පසුවන මේ දරුවන් දෙදෙනත් මමත් බිරියත් ඉතා සතුටින් ජීවත්ව සිටියා. කිසිදු ලෙඩක් රෝගයක් නැති මගේ බිරියට මේ වුණු විපත ගැන මට දැනෙන වේදනාව තනිකම කියා ගන්න බැරි තරම්.

මගේ බිරියට වම් ඇසේ පෙනීමේ දුර්වලතාවක් තිබුණා. ඒක ඇයට කුඩා කල සිට තිබුණු දෙයක්. ඒ සමඟම එම ඇසෙන් එළියක් යනවා වගේ දෙයක් පෙනෙනවා කියල කලක සිට කිව්වා. ඒ නිසා බලපිටිය රෝහලේ සායනික ප්‍රතිකාර සඳහා ගෙනගියා. එතැනින් වම් ඇස විනාශ වී ඇති බව අප වෙත දැන්වූ අතර එතැනින් කොළඹ ජාතික රෝහලේ ඇස් රෝහල වෙත යොමු කළා.

ඒ අනුව 2019 සිට අපි ඇස්වල ප්‍රතිකාර සඳහා ඇස් රෝහලට පැමිණි අතර එතැන් පටන් එහි සායනවලදී මේ දක්වා ඇස්වලට ඔයිල් එකක් දැමීමට කටයුතු කළා. ඒ අතර මීට දින 12කට පමණ පෙරදී ඇයට ඇස් රෝහලෙන් කාචයක් දැම්මා. ඉන්පසු ඇසට කප් එකක් දමා දින දෙකකින් පමණ ටිකට් කපා නිවෙසට එව්වා. ඒ දින කිහිපයේ මගේ බිරිය හොඳින් හිටියා. නැවත පසුගිය 04 වැනිදා සායනයට පැමිණෙන ලෙස රෝහලෙන් දන්වා සිටියා. ඒ අනුව අපි ඇස් රෝහලට පැමිණි අතර එහිදී ඇස පරීක්ෂණයට භාජන කර ඇසට දැමූ කාචය ගැලවී ඇති බවත් වෛද්‍යවරු දැනුම් දුන් අතර මෙදිනම නතර වෙන ලෙසද දන්වා සිටියා. ඒ අනුව මම ඇයව නැවත රෝහලට ඇතුළත් කර මම නිවෙස බලා ගියා. පසුදින (05) උදේ 9.30ට පමණ ඉක්මනින් පැමිණෙන ලෙස රෝහලෙන් මාහට දුරකතන ඇමතුමක් ලැබුණු අතර ඒ අනුව මා නැවතත් රෝහලට පැමිණියා. එහිදී මගේ බිරිය මියගිය බව මාහට දැනුම් දුන්නා.

මෙහිදී වෛද්‍යවරු මාහට කතා කර කිව්වා එදින (05) උදයේ ඇයට ශල්‍යකර්මයක් සඳහා තියටර් එකට ගැනීමෙන් පසු නිර්වින්දනය කළ බවත් නැවත ඇයට සිහිය ආවේ නැති බවත්. ශල්‍යකර්මය කළා ද කියලා මම දන්නේ නැහැ. ඇය මට අවසානයට කතා කළේ එදිනම උදේ 6.30ට පමණයි. එසේ කතා කර ඇය මට කීවේ උදේ ඇසට සර්ජරි එකක් කිරීමට සූදානම් කර ඇති බවයි. ඇය එවලේ මගෙත් එක්ක සුපුරුදු පරිදි හොඳට කතා කළා. කිසිම රෝගී තත්ත්වයක් ඇගේ කතාවෙන් මට තේරුනේ නම් නැහැ.

එසේම ඇයට කිසිදු රෝගයක් තිබුණු කෙනෙක් නෙමෙයි. ෆෙරෙෂර් එක සහ ෂුගර්වත් තිබුණු අයෙක් නෙමෙයි. ඇසේ ප්‍රශ්නය හැරුණු විට ඇය ඉතාමත් නිරෝගී කෙනෙක්. ඇයට ලබාදුන් නිර්වින්දන බෙහෙත ගැන තමයි මට සැකයක් පවතින්නේ. ඇය මෙලෙස හදිසි මරණයකට උරුමකම් කිවයුතු කෙනෙක් නෙමෙයි. මේ මරණය නිසා මගේ අහිංසක දියණියන් දෙදෙනාට මව අහිමි වුණා. අද මට සිදු වූ දෙය හෙට තව කෙනකුට විය හැකියි. ඒ ඔබටම වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කර මගේ බිරියගේ ජීවිතය නැති වීම සම්බන්ධයෙන් වැරදිකරුවන් සොයා නිසි දඬුවම් පැමිණ වීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි.” යැයි බිරියගේ වියෝවෙන් දැවෙන විමල් රෝහිත ද සිල්වා මහතා කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: