hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 13, පෙ.ව. 12:01



කෙනෙක්ගෙ ලිංගික ජීවිතය ගැන ප්‍රශ්න කරන්න ඇත්තටම අපිට සදාචාරාත්මකව අයිතියක් නෑ.

නමුත් එකී ලිංගික ජීවිතය නිසා කෙනෙක් අසීමිතව පීඩාවට පත්වෙනව නම් ඒක අපි කතා කළ යුතුම ප්‍රශ්නයක්.

මොකද විඳින්න තියෙන ලිංගික ජීවිතය ඇතුළෙ විඳවීම් තිබිය යුතු නැති නිසා..

සාමාන්‍ය‍යෙන් අපිට නීතිමය ගැටළුවක් ආවාම අපි මුලින්ම දුවන්නෙ නීතිය හා සාමය සුරකින පුද්ගලයින් සමීපයට.නමුත් ඔවුන්ටත් මේ හා සමානම ප්‍රශ්න නැද්ද ?

සමහරවිට ඔවුන්ගේ ගැටළු ගැන ඔබ ඇහුවොත් අපිට මොන ප්‍රශ්නද කියලත් හිතේවි..

අපිට මේ කතාව කියන්නෙ මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි, ඇගේ දීර්ඝකාලීන උපදේශන වෘත්තියේ අත්දැකීම් ඇසුරෙන්…

අදාළ පාර්ශවයන්ගේ පෞද්ගලිකත්ව රැකිය යුතු නිසාම මෙතැන් සිට අපි ඔවුන්ට සරත් හා සමන්ති යැයි නම් තබමු..

මේ ඔවුන්ගේ අස්වාභාවික ලිංගික ජීවිතයේ කතාවයි..

සමන්ති රැකියාව කරන්නෙ ආරක්ෂක අංශයේ නිලධාරිනියක් හැටියට.

ඇය ළඟට එන සමහර ප්‍රශ්න ඇයට අනුව නම් ප්‍රශ්න නෙවෙයි.මොකද ඒ වෙද්දිත් ඇය හිටියෙ ඊටත් වඩා ප්‍රශ්න ගොඩක.සරලම කීවොත් ඇය හිටියෙ ගිනි ගොඩක.

දිනපතාම ඇය මේ ගින්නෙන් පිච්චෙනවා.අනුන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයන තමන්ට තමන්ගෙ ප්‍රශ්නවලට උත්තර තියෙනවද කියන එකත් ලොකු ප්‍රශ්නයක් වුණා.

” මම මේ යුනිෆෝම් එක ඇන්දට මගෙ ඇතුළෙ ඉන්න ගෑනි, මගෙ ළඟට මෙච්චර කල් ඇවිල්ලා තියෙන සියලුම ප්‍රශ්නවලට වඩා මහා ලොකු ප්‍රශන්වලින් පීඩාවිඳින කෙනෙක්” ඒ ඇය කියන ඇගේ අමිහිරි ජීවිතයයි.

ඇගේ සැමියා සරත් කොහොමත් විවිධ ලිංගික අත්දැකීම් ලබන්න නිරායාසයෙන්ම කැමැත්තෙන් ඉන්න කෙනෙක්.සමන්ති නීත්‍යානුකූල බිරිඳ වෙද්දි ඇයට අමතරව තවත් සබඳකම් ඔහුට තිබුණා.

සරත් සහ සමන්ති කියන්නෙ වයස අවුරු 17ක ලොකු පුතෙක් ඉන්න සහ යමක් තේරුම් ගන්න පුළුවන් වයසක තවත් දරුවන් දෙදෙනෙක් ඉන්න දෙමාපියන්.

සරත් මේ විදියට වගකීම් විරහිත සැමියෙක්, පියෙක් ලෙස හැසිරෙන්නෙ මෙවැනි තත්වයක් තිබියදියි.

සරත්ගේ නොමනා හැසිරීම සමන්තිට අරන් ආවෙ ප්‍රශ්න ගොඩක් විතරයි.ඊටත් වඩා මහත් මානසික පීඩනයක්.

“ඇයි ඔයා මට ඔහොම කරන්නෙ..මොකක්ද මගෙ තියෙන අඩුව” සමන්ති එහෙම අහන්නෙ ඉවසන්න බැරිම තැන.

“ඔව් මට අඩුවක් තියෙනවා..ඔයා මං කියන විදියට ඉන්නෙ නෑනෙ” සරත්ගෙ ප්‍රතිචාරයම සමන්තිට අරන් ආවෙ ගැටළුවක්.

කොයිතරම් මහන්සිවෙලා ගෙදරට ගොඩවුණත් ,මොන අසනීපයකින් හිටියත් සරත්ගෙ ලිංගික තෘප්තිය උදෙසාම කැපවෙන තමන්ට මෙහෙම අහන්න වෙයි කියලා ඈ කවදාවත් හිතන්න නැතුව ඇති.

” ඇයි මං ඔයාට මොකක්ද කරලා තියෙන අඩුපාඩුව..සෙක්ස්වලින් මොනව හරි අඩුපාඩුවක් වෙලා තියේද මගෙන්..මං මහන්සි වෙලා ආවත් , අසනීපෙන් හිටියත් මං ඔයාට ඕනි දෙයක් කරන්න ඉඩදීලා තියෙනවනෙ” ඉවසන්න බැරිම තැන සමන්ති කියන්නෙ එහෙම.

“නෑ මට ඕනි මේක වෙනස් විදියකට කරන්න” විවිධ ඉරියව් ඔස්සෙ ලිංගිකව අලුත් අත්දැකීම් හොයන සැමියාට ඕනි මේ වෙනස ගැන දැනගන්න ඇයටත් තිබුණා ලොකු වුවමනාවක්.ඒ කුතුහලය නිසාම , “ඒ කීවෙ , මට තේරෙන්නෑ” “මං කැමති ත්‍රීසම් එකකට” ඒ වෙද්දි සමන්තිට මේ ගැන කිසිම අවබෝධයක් තිබුණෙ නෑ.

සරත්ගෙ පැහැදිලි කිරීම් ඔස්සෙ කරුණු කාරණා දැනගන්න ඇය ඔහු ඉදිරියේ හඬා වැටෙන්නෙ දරාගත නොහැකි පිළිකුළත් කේන්තියත් නිසාමයි.

කොයිතරම් හඬා වැටුණත් සමන්තගෙ හිත නෙවෙයි උණු වෙන්නෙ.ඔහුට අවශ්‍ය වෙන්නෙම මේ අලුත් අත්දැකීමට සමන්තිවත් එකතු කරගන්න.පිළිකුල සහ වේදනාව පරයා නැඟෙන අසීමිත කේන්තිය නිසා සමන්ති තීරණය කරනවා සරත්ගේ ඉල්ලීමට එකඟ වෙන්න.

එතැන් සිට වෙන සියල්ලම ඇගේ හිතට එකඟව සිද්ද වෙන දේවල් නම් නෙවෙයි.

” නමක් ගමක් නොදන්න එක එක පිරිමි දවසින් දවස ගෙදරටම එක්කන් ආවා…ළමයි ලොකු හින්දා පස්සෙ පස්සෙ ගෙදර මේ දේවල් කරන්න පුළුවන් වුණේ නෑ …අපිට හෝටල් කාමරවලට යන්න වුණේ ඒකයි “ දෙයක් තේරුම් ගන්න පුළුවන් වයසක ඉන්න දරුවන් තුන්දෙනාගෙන් ඈතට ගිහින් සරත්ගේ ආශාවන් සංතෘප්ත කරන්න සමන්ති තීරණය කරන්නෙ එහෙමයි.

ඇය මේ සෑම අවස්ථවකම හැසිරිලා තිබුණේ හැඟීමකින් තොරව පළිගැනීමේ චේතනාවක් සහිතව විතරයි.

වරෙක ඇයට හැඟුණේ සරත්ගේ මේ හැසිරීම මුදල් ඉපයීමේ අරමුණ පෙරදැරිව සිදුවන්නක් ද යන්නයි.

හුදෙක් විකෘති ලිංගික ආශාව මිස ඉන් එහා බලාපොරොත්තුවක් හෝ අරමුණක් ඔහුට තිබී නෑ.තමන්ට ලැබෙන මානසික තෘප්තියම ඔහුගේ එකම බලාපොරොත්තුව වෙලා තිබුණා. මෙහෙම කාලය ගෙවෙද්දි ඇයට මේක සුපුරුදු දෙයක් බවට පත්වෙන්නෙ නිරායාසයෙන්මයි.

ඒත් එක දවසක්, “එදා එයා ආවෙ එයාගෙ අනියම් පෙම්වතියත් එක්ක…ඒ ගෑනු කෙනෙක් එක්කන් ආව පළවෙනි වතාව” සැමියා ,බිරිඳ සහ අනියම් පෙම්වතිය එක යහනක ඉන්න එක ? හිතන්නවත් පුළුවන්ද එහෙම දෙයක් ගැන … මේ සා කටුක අත්දැකීම්වලින් පීඩාවිඳින සමන්ති එක දවසකවත් මෙයින් තෘප්තියක් නම් ලැබුවෙ නෑ.ඇයට ඇති වුණේ හිස් බවක් සහ කළකිරීමක් විතරයි.

පාරේ තොටේ ගමන් බිමන් යද්දි ,රැකියාව කරද්දි ඇයට මේ සිදුවීම් නිසා මහත් අපහසුතාවක් දැනුනා. “මට හිතුනෙම මිනිස්සු මං දිහා හරි නරක ගැහැණියක් දිහා බලන විදියට බලනවා කියලා…ඒ වෙලාවට මිනිස්සුත් එක්ක එහෙම හසිරුණාට ඊට පස්සෙ මං තනියම අඬනවා කියලා කවුරුත් දන්නෙ නෑ”

“සමහර වෙලාවට එයාලා මං එක්ක ඉන්නෙ හොඳටම බීලා ” “දවසක් මට හිතුණා ලොකු පුතාට මේ දේවල් තේරුණා කියලා..එයාට අවුරුදු 17ක්නෙ..නොතේරෙන්න හේතුවකුත් නෑනෙ” සරත්ගෙ සියලුම ආශාවන් සංතෘප්ත කරන සමන්තිගෙ ජීවිතය ගෙවුණෙ ඔහොම.

මනෝවිද්‍යා උපදේශනයට යොමුවෙන්න ඇය තීරණය කරන්නෙ දරාගත නොහැකි මානසික පීඩනය නිසයි.

සේවාලාභින්ගේ ගැටළු ඔවුන්ට රිසි ලෙස විසඳාගැනීමට ලබාදෙන මානසික ශක්තියකි මනෝවිද්‍යා උපදේශනය.එය හුදෙක් උපදෙස් ලබාදීමක්ම නෙවෙයි.මුලින්ම සමන්තිගේ කතාවට ඇහුම්කන් දීලා උපදේශනය අත්‍යාවශ්‍යම සරත්වත් සම්බන්ධ කරගන්න අවසානයේ ඔවුන්ට හැකියාව ලැබෙනවා.

” මටත් දැන් හිතෙනව මොකක්ද මං ඒ කළේ කියලා ” ඒ සරත්…විවිධ නිල ඇඳුම් ඇතුළෙ ,ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහ සහතික පිරුණු ජීවිත ඇතුළෙ අපිට හිතන්නවත් බැරි කතා ගොඩක් හැංගිලා තියෙනවා.

තමන් ළඟට ප්‍රශ්න අරන් එන ගැහැනු ජීවිත දැක්කාම සමන්තිට හිතෙන්නෙ මෙහම , “මොනවද මේ පොඩි පොඩි ප්‍රශ්න කියලා මට හිතෙනවා.මට තියෙන ප්‍රශ්නත් එක්ක මේවා මොන ප්‍රශ්නද ..මට හැමදාම ඔහොම හිතෙනවා ” සමාජය පිළිනොගන්නා විකෘති ලිංගික ආශාවන් නිසා තවත් කී දෙනෙක් නම් මෙහම පීඩාවට පත්වෙලා ඇත්ද ?

ලිංගික ජීවිතය කියන්නෙ එක පාර්ශවයක් විතරක් ආත්මාර්ථකාමීව සතුටුවීමක් නෙවෙයි.

කෙනෙක් අසීමිතව පීඩාවට පත්වෙද්දි එහෙම සතුටක් ලබන්න පුළුවන්ද කියන එකත් ඇත්තටම ප්‍රශ්නයක්…

ආත්මාර්ථකාමීව ආදරය සහ ලිංගිකත්වය හඹා යන බොහෝ පිරිස් හොයන්නෙ තමන්ගෙ විතරක්ම වුණු ආදරයක්.

සහකරුවෙක්.සහකාරියක්.එහෙම තැන ඇහෙන මෙහෙම කතා කොහොමත් අස්වාභාවිකයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: