hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 26, පෙ.ව. 12:04



මුහුණු පොත ඔස්සේ හඳහන් බැලීමට යැයි පවසමින් රූමත් තරුණියන් රැසකගේ පෞද්ගලික තොරතුරු සහ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා ඉවත් කිරීමට රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගත් ජ්‍යොතිෂ්‍යවේදියකු බව කියන දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවකු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය, අධිකරණය දැනුම් දුන්නා.

හම්බන්තොට පදිංචි ශෂී ධාවන් නමැති මෙම සැකකරුට හසු වූ තරුණියන්ගෙන් මේ වන විට පැමිණිලි 20කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයිද දන්වා සිටියා.

අදාළ සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි.

ඔහු ලබන 08 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, බන්ධානාගාරයට නියම කළා.

අදාළ සැකකරු හඳහන් බලන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීමක් පළකර තරුණියන් රැසකගේ තොරතුරු ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

එම තරුණියන් අතුරින් තෝරා ගත් රූමත් තරුණියන් පිරිසක් සමග කතාබස් කරමින් සැකකරු සූක්ෂ්ම ලෙස පෞද්ගලික තොරතුරු සහ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුවේ නිලධාරීන්, එම නිරුවත් ඡායාරූප සහ ​​තොරතුරු සැකකරු විසින් මුහුණු පොතේ වෙනම පිටුවක් සකස් කර ඇතුළත් කර තිබෙන බවද අධිකරණයට දන්වා සිටියා.

එම මුහුණු පොතේ නව පිටුවේ සැකකරු විසින් ‘ගණිකාවන් ඉන්නවා මෙන්න ඒ අයගේ තොරතුරු’ යනුවෙන් හුවා දක්වමින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප පළ කර ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුව සැකකරු අදාළ තරුණියන්ට නැවත කතා කර නව පිටුවේ ​තොරතුරු යවා ඇතැයිද දන්වා සිටියා.

එම ඡායාරූප ඉවත් කරදීමට නම් තමන්ට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා දිය යුතු බව පවසමින් හඳහන් බැලීමට තොරතුරු එවූ තරුණියන්ගෙන් සැකකරු කප්පම් මුදල් ඉල්ලා තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණය වෙත දන්වා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: