hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජූනි 01, ප.ව. 4:17



බූරුවා ගැසීමට ඇබ්බැහි වූ පියෙක් පාසල් සිසුවිය වූ තම 16 හැවිරිදි වැඩිමහල් දියණිය බූරුපොළේ පොලී මුදලාලිට විකුණා ඇතැයි අගලවත්ත පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළා.

පොලීකරුවා රහසේ සිසුවියට ලබාදී තිබූ ජංගම දුරකථනය බාප්පාට සහ පුංචි අම්මාට අසුවීම නිසා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වසර දෙකකට පෙර සිය මාමා ඇයට කළ අතවර පිළිබඳවද සියලු රහස් හෙළිවී තිබෙනවා.

සැකකාර පියා පෙරේදා (30) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු මාමා සහ පොලී මුදලාලි ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලිසිය සඳහන් කළා.

අගලවත්ත, පනාදඬුකන්ද ප්‍රදේශයේ පදිංචි දියණියන් දෙදෙනකුගේ මවක හා පියකු විසින් මෙසේ කාලයක් තිස්සේ තම නිවෙසේ රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

කලවාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයකු මෙම සූදුපොළට මුදල් පොලියට දෙන්නට වරින්වර මෙම නිවෙසට පැමිණ තිබෙන අතර සැකකාර පියා බූරුවා ගැසීමට මේ පුද්ගලයාගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.

ඒ සඳහා මේ පුද්ගලයා සමඟ ඇසුරක් පවත්වන මෙන් තම වැඩිමහල් දියණියට අනුබල හා උපදෙස් ලබාදී තිබෙන බවත් එයට තම මවගේ කිසිදු අනුමැතියක් ලැබී නැති බවත් පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය සැකකාර පොලීකරුවා විසින් නිවෙසට පැමිණ හා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන 2022 වසරේ සිට මේ වන තෙක් වසරක් තිස්සේ තම කාර් රථයෙන් සහ ත්‍රිරෝද රථයකින් විවිධ ස්ථානවලට ගෙනගොස් අතවර කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

සිසුවිය සම්බන්ධ කර ගැනීම සඳහා සැකකාර පොලීකරුවා විසින් හොර රහසේ සිසුවියට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවත් එය සිසුවියගේ පුංචි අම්මාට සහ බාප්පාට හසුවී ජංගම දුරකථනය පොළොවේ ගසා ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් හමුවේ කළ විමර්ශනයකදී මෙම රහස් සියල්ල හෙළිවූ බව පොලිසිය පැවැසුවා.

ඒ අනුව මෙයට වසර දෙකකට පෙර 2021 වසරේදී සිසුවියගේ මාමා කෙනකු වන විවාහක පුද්ගලයකු බීමතින් නිවෙසේ කවුරුත් නැති අවස්ථාවක පැමිණ සිසුවියට බරපතළ ලිංගික අපයෝජනයක් කර ඇති බවත් හෙළිවූ බව පොලිසිය සඳහන් කළා.

සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුතර, නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකාර පියා ඊයේ (31) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය පැවැසුවා.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තරිඳු හෙට්ටිආරච්චිගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්‍ෂිකා රුවන්මාලි ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: