hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:02



කෑගල්ල ගලිගමුව පාලබාගේ ප්‍රදේශයේ තරුණියක මොළේ මිය යෑමෙන් පසුව ශරීර අවයව කොටස් රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර රෝගීන් දෙදෙනා ඉතා සුවයෙන් කල් ගෙවන බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා පැවසීය.

මෙලෙස මොළේ මිය යෑමෙන් මිය ගොස් තිබුණේ කෑගල්ල ගලිගමුව පාතබාගේ අමුහේන්තැන්න ග්‍රාමයේ පදිංචිව සිටි ආර්.ජී. සුභන්‍යා වීරකෝන් නමැති 21 හැවිරිදි අවිවාහක තරුණියකි.

ගලිගමුව පාතබාගේ පදිංචිව සිටින 56 හැවිරිදි ආර්.ජී ධර්මදාස සහ 54 හැවිරිදි එච්.පී තිලකාවතී මවුපිය යුවළට ගැහැනු දරුවන්ම තිදෙනෙකි. ශානිකා දිල්රුක්ෂි වැඩිමල් දියණියයි. නිලුෂිකා වීරකෝන් දෙවැනි දියණයයි. 21 හැවිරිදි සුභන්‍යා වීරකෝන් තෙවැනි දියණියයි.

සුභන්‍යා වීරකෝන් තරුණිය 2003 මැයි 19 වැනිදා කෑගල්ල මහ රෝහලේදී උපත ලැබීය. ගමේ විද්‍යාලය වන කොබ්බෑවල කීර්තිරත්න මහා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට 2019 වර්ෂයේ පෙනී සිට විෂයන් හයකට ඒ සාමර්ථ 6ක් ද විෂයන් තුනකට බී සාමර්ථ 3ක් ද ලබාගෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යා විෂයෙන් ඉගෙනුම ලැබීමට කෑගලු බාලිකා විද්‍යාලයට ඇතුළත්ව තිබිණි. 2022 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති සුභන්‍යාට විශ්වවිද්‍යාල වරම් අහිමිව ගොස් තිබිණි. පසුව කුරුණෑගල ආයතනයකින් ජපන් පාඨමාලාවක් හා ගලිගමුවේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටි බව ඇගේ මව වන තිලකාවතී මහත්මිය පැවසුවාය. වැඩිමල් සහෝදරිය විවාහ වී කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ⁣දෙවැනි සහෝදරිය විවාහ වී ගලිගමුව බල්ලපාන ප්‍රදේශයේ පදිංචිව සිටියි.

ඉකුත් 09 වැනිදා පෙරවරුවේ හිසේ කැක්කුමක් සෑදීමෙන් පසුව මවුපියන් විසින් තරුණිය කෑගල්ල මහ රෝහලට ත්‍රිරෝද රථයකින් ඇතුළත් කර ඇති අතර කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ හිසේ අධික ලෙස රුධිරය වාහනය වීමක් සිදුව ඇති බවයි. පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර වෛද්‍ය කාර්ය මණ්ඩලය තරුණිය ජීවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් යෙදුව ද 13 වැනිදා මොළය මිය ගොස් ඇති බවට සනාථ කරගෙන තිබිණි. පසුව තරුණියගේ තත්ත්වය පිළිබඳ මවුපියන් හා සහොදරියන් දැනුම්වත් කිරීමෙන් පසුව ඇගේ අක්මාව වකුගඩු දෙක හා ඇස් දෙක ඉවත් කර ගැනීමට කටයුතු සිදු කර තිබිණි. එම අවයවවලින් දැනට අක්මාව හා එක වකුගඩුවක් රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර ඇති බව කෑගල්ල මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක වෛද්‍ය ධනුෂ්ක ජයතිලක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක වෛද්‍ය ධනුෂ්ක ජයතිලක මහතා මෙසේ ද පැවසීය.

ඉකුත් 09 වැනිදා පෙරවරුවේ කෑගල්ල මහ රෝහලට ගලිගමුව බල්ලපාන පාතබාගේ ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක තදබල හිසේ කැක්කුමක් සෑදී ඇතුළත් කර තිබුණා. පස්සේ වෛද්‍ය කාර්ය මණ්ඩලය යුහුසුලුව තරුණිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර බැලුවා. ඇගේ මොළේ මහ ලේ ගැලීමක් පවතින බවට හඳුනා ගත්තා. පස්සේ අප ඇය බේරා ගැනීමට මහනුවර, කොළඹ වැනි රෝහල්වලට කතා කර උපරිම කැප කිරීමක් සිදු කළත් 13 වැනිදා වෙනකොට මොළය මිය ගොස් ඇති බවට හඳුනා ගන්න ලැබුණා. පස්සේ අප තරුණියගේ මවුපියන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළා. ඒ දැනුම්වත් කිරීම අනුව ඉකුත් 13 වැනිදා ඇගේ අක්මාව, වකුගඩු දෙක හා ඇස් දෙක ශල්‍යකර්මයක් මඟින් ඉවත් කරලා අක්මාව හා එක් වකුගඩුවක් රෝගීන් දෙදෙනකුට කොළඹ මහ රෝහලේදී සම්බන්ධ කරලා ඒ රෝගීන් දෙදෙනා දැනට ඉතාමත් සුවයෙන් පසු වෙනවා.

මියගිය සුභන්‍යා වීරකෝන් තරුණියගේ මව වන ඩබ්ලිව්.පී. තිලකාවතී මහත්මිය මෙසේ ද පැවසුවාය.

මට ගැහැනු දරුවන්ම තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දුවලා දෙන්නා විවාහ වෙලා වෙනම පදිංචිව ඉන්නේ. බාල සුභන්‍යා වීරකෝන් දුව අප දෙන්නත් එක්ක ගෙදර ඉන්නවා. දුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. වේලාව බලපුහාම කිව්වා ජීව විද්‍යා විෂය ඉගෙන ගන්න කියලා. පස්සේ දුව උසස් පෙළ ජීව විද්‍යා විෂය ඉගෙන ගන්න කෑගලු බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටියත් විශ්වවිද්‍යාලයට යන්න තේරුණේ නෑ. ඊට පස්සේ ජපන් යන්න ඕනෑ කියලා කුරුණෑගල ජපන් පාඨමාලාවක් හදාරමින් සිටියා. ඉංග්‍රීසි පාඨමාලාවක් ද ගලිගමුවේ හදාරමින් සිටියා.

දුව නිතර ආගමික වැඩවලට නැඹුරු වෙලා හිටියා. සිල් ගන්නවා. කලින් ලොකු දුවට සුභන්‍යා දුව කියලා තියෙනවා අවයව දන් දෙන්න ඕනෑ කියලා. මට ලොකු දුව කිව්වේ සුභන්‍යා දුව මියගියාට පස්සේ. කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරු අපට කරුණු කාරණා පැහැදිලි කර දුන්නා. අප කැමති වුණා දුවගේ අවයව දන් දෙන්න. දැන් ඒ අවයව දෙදෙනකුට බද්ධ කරලා හොඳට ඉන්නවා කියලා දැන ගන්න ඊයේ (15) ලැබුණා. දුව මියගියත් එයාගේ අවයවවලින් තව කෙනෙක් ජීවත් වෙනවා කියන එක අහන්න ලැබීම සතුටක් යැයි තිලකාවතී මහත්මිය හැඬූ කඳුළින් පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: