hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 05, පෙ.ව. 5:44



රෑ මැදියමේ නිවෙසට ඇතුළුවී අතවරයක් කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ ඇඟිල්ලක් සපා කා අතවරයෙන් බේරුණු කාන්තාවක පිළිබඳ පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තා වෙනවා.

ඇය ප්‍රදේශයේ ගම්බද කාන්තාවක්.

සිය සැමියා කිසියම් කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව යෑම නිසා ඇය එදින නිවෙසේ සිටියේ තනිවමයි.

මැදියම් රැය ආසන්න වෙද්දී නිවෙස දෙසින් කිසියම් ශබ්දයක් ඇසී ඇය ඒ පිළිබඳව විපරම් කරද්දී ඇයට දැකගන්නට ලැබුණේ නිවෙසේම තිබූ ඇඳ ඇතිරිල්ලක් පොරවාගත් කිසිවකු නිවස තුළ සැඟවී සිටින බවක්.

තවත් මොහොතක් ගෙවී යද්දී ඇඳ ඇතිරිල්ල යට සැඟව සිටි පුද්ගලයා ඇය ළඟට පැමිණියේ අයුතු යෝජනාවක් කරමින්.

කිසිදු කලබලයක් නොපෙන්වූ ඇය එක්වරම අමුත්තාගේ අතක ඇඟිල්ලක් ගෙන කටේ දමා හැපුවේ හොර මනමාලයා අන්දමන්ද කරමින්.

නොසිතූ මොහොතක ලද ප්‍රතිචාරයෙන් කලබලයටත් දැඩි වේදනාවටත් පත් හොර මනමාලයා මර ලතෝනි දෙමින් කළුවරේම පැන දිව්වේ කරන්නට අන් යමක් නො වූ හෙයින්.

ඉන් නොනැවතුණු කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ඇමතුමක් දෙමින් සිද්ධිය දැනුම්දීමටද අමතක නොකළා.

ඒ අනුව කන්දකැටිය පොලිසියේ නිලධාරීන් රාත්‍රියේම ඇයගේ නිවෙස සොයා ගිය ද පැමිණි පුද්ගලයා පිළිබඳ හෝඩුවාවක් හෝ දැනගන්නට නොලැබුණා.

සිද්ධියෙන් නොනැවතුණු ඇය පසුදින ප්‍රදේශයේ රෝහල කරා පැමිණ ඇඟිල්ලක් නැති පුද්ගලයකු බෙහෙත් දමා ගැනීමට පැමිණියේදැයි රෝහල් කාර්ය මණ්ඩලයෙන් ද විමසා ඇති බව දැනගන්නට තිබෙනවා.

කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: