hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 01, ප.ව. 4:21



පිරිමි ඇස්වලට ලෙහෙසියෙන් කඳුළු උනන්නේ නැත. උහුලාගත නොහැකි වේදනාකාරී අවස්ථාවකදී වුවත් ඔවුන් කරන්නේ ඒ කඳුළ සඟවාගෙන සුසුම්වලින් ඒ වේදනාව පිට කිරීමයි.

හයිය හිතක් ඇති දෙනුවන් සිටින්නේද දැන් එවැනි වේදනාකාරී පරිසරයක් තුළයි. එහෙත් ඔහුට මේ දුක, වේදනාව සුසුමකට ලඝුකොට ඉවසා ගැනීමට නොහැකියි.

ඒ නිසාම ඔහුගේ දෙනෙතින් ගලා යන උණු කඳුළුවලට දැන් පාලනයක් නැත. “මට මගේ පණවගේ හිටපු චූටි අක්කව අමතක කරන්න බැහැ අයියේ.  එයා තමයි මගේ හොඳම යාළුවා.  අක්කලා දෙන්නා කසාද බැඳලා ගෙදරින් ගියාට පස්සේ මාත් එක්ක රණ්ඩුවෙවී .. යාළුවෙවී හිටපු මගේ සුරංගනාවිය. මම කොහොමද එයාව අමතක කරන්නේ..” දෙනුවන් ඉකි ගසමින් ප්‍රශ්න කරනවා.

යොවුන් වයසේ පසුවන දෙනුවන් ප්‍රසාද් ධර්මවික්‍රම තම සහෝදරියගේ වියෝවෙන් මෙසේ හඬා වැලපෙන්නේ හැබෑවටම ඔහු තුළ ඇති ශක්තිමත් සහෝදර බැඳීම නිසායි.

වත්තල පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජන වී එයින් පසුව හදිසියේ ඇතිවූ අසාධ්‍ය තත්ත්වයක් නිසා රාගම මහ රෝහලට ඇතුළත් කොට සිටියදී එසේ මිය ගියේ ජාඇළ දෑලතර පදිංචි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රමයි.

මේ අවාසනාවන්ත මරණය ගැන රටක් කතා කර පටන් ගත්තේ ඇය විවාහ වී වැඩි කාලයක් ගත නොවීම නිසයි.

එමෙන්ම ඇයගේ සුන්දර සිනහව නිසාම හැමෝම ඇය ගැන සොයා බලන්න පටන් ගත්තා.

නමුත් ඇය නොසිතූ ලෙස හැමෝවම දාලා ගියා.

හැමෝම කිව්වේ හර්ෂණීගේ මේ මරණයට වෛද්‍යවරයා වගකිව යුතු බවයි.

ඒත් එක්කම වෛද්‍යවරයාට සැත්කම් කිරීම පවා තහනම් කෙරුණා.

“දැඩි සත්කාර ඒකකයේ හිටපු අක්කව හැමදාමත් බලන්න ගියේ මමයි රසික අයියයි. මම අම්මල එතැනට යනවට කැමති වුණේ නැහැ. ඒ අම්මා ඇත්ත තත්ත්වය දැනගෙන අඬයි ‍දොඩයි කියලා. ලෙඩවෙයි කියලා. මොකද මගේ තාත්තාත් ටික කාලෙක ඉඳලා ඉන්නේ රෝගී වෙලානේ.”

රාගම දැඩි සත්කාර ඒකකයට නිතර ගිය දෙනුවන්ට එක් දවසක රාත්‍රියේදී හර්ෂණී අක්කාව බැලීමට යෑමට නොහැකි වී තිබෙනවා.

එහෙත් පසුදා ඔහු ඇගේ ඇඳ අසලට ගියේ ඕනෑකමින්ම මවාගත් බොරු සතුටකින් මුහුණ පුරවාගෙනයි.

“අක්කා ඉන්න තත්ත්වය අනුව මට මගේ දුක පෙන්නන්න බැහැ. ඉතින් මම බොරුවට හලෝ මචාං කොහොමද? කියලා කිට්ටු වෙලා ඇහුවා. අක්කාත් බොරුවට වගේ මට හිමිහිට තොල්පෙතිවලින් කිව්වා ‘තරහයි‘ කියලා. ඒ මම කලින් දවසේ රෑ එයාව බලන්න නොගිය නිසා. පේනව නේද අපි දෙන්නගේ ආදරේ වගේම බැඳීම කොහොමද කියලා.” දෙනුවන් ප්‍රසාද් එසේ කියා නැවත කෑගසා හඬන්නට වුණා.

“මගේ චූටි අක්කා හැමදේම කතා කළේ සැලසුම් කළේ මා එක්ක. පුංචි කාලේ ඉඳලම අපි දෙන්නා එහෙමයි. එයා පවුලේ තුන්වැනියා. මම හතරවැනියා. ඉතින් සෙල්ලම් කළෙත් එකටමයි.” දෙනුවන් වචන එකතු කරමින් අපහසුවෙන් යුතුව කියා සිටියා.

දෙනුවන් ප්‍රසාද් තම ආදරණීය චූටි අක්කාගේ අසනීප තත්ත්වය ගැන කෙතරම් කලබල වූවා දැයි පවසනවා නම් හර්ෂණී මියයෑමට දිනකට දෙකකට කලින් ඔහු හදිසියෙම අනතුරකට පත් වන්නේ මෝටර් සයිකලය පදවාගෙන යන අතරතුරේදීයි.

“ඒ අනතුරින් මගේ අතකට වගේම තවත් තුවාල ඇතිවුණා. මම හිටියේ රාගම රෝහලේම උඩ වාට්ටුවක. මම ඒ වාට්ටුවෙන් එළියට ආවේ ඇඟේ උඩ රෙද්දකින් වහගෙන. දැඩි සත්කාර ඒකකයේ සීතල ඉවසා ගන්න බැහැ වගේ රෙද්දත් දාගෙන අක්කා ළඟට ආවා. අනේ ඉතින් අන්තිමට අපි හැමෝම ළඟ ඉද්දී එයාගේ පණ ගියා. එයා අපිව දාලා ගියා. ඒක මහ පුදුම සමුගැනීමක්. හිතාගන්න බැරි ඈත්වීමක්.”

රාගම රෝහල් ආරංචි මාර්ගවලට අනුව හර්ෂණීගේ මරණයට හේතුවී ඇත්තේ ශල්‍යකර්මයේදී සිදු වූ සංකූලතායි.

මෙවැනි සංකූලතා ඇති වීමට හේතුවී ඇත්තේ අදාළ ශල්‍යකර්මය සිදු කිරීමේදී සිදුවූ අතපසුතාවන් නිසා බවද කියැවෙනවා.

කෙසේ හෝ දැන් හර්ෂණීගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ උදවිය සූදානම් වන්නේ මේ පිළිබඳව නීති මඟින් කටයුතු කිරීමටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: