hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:01



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

හත්තිකුච්චි විහාරාරාම සංකීර්ණ භූමිය ආශ්‍රිතව රූගත කෙරුණේ සෝමරත්න – රේණුකා යුවළගේ අලුත්ම නිර්මාණය වන ‘සිංහබාහු’ චිත්‍රපටයේ දර්ශණයකි.

රූගත කිරීම් සිදු කළේ ජුලි දෙවැනිදා වුවත් ජැක්සන්, ඉරේෂ් සමග අනුරාධපුරයට පැමිණියේ ඊට දින දෙකකට පෙර එම් ජුනි තිස් වැනිදාය.

“රූගත කිරීමකට ගියහම ජැක්සන් ඇන්තනී මහත්තයා මූලිකවම බලන දෙයක් තමයි නවතින හෝටලයේ ජිම් එකක් තියෙනවද කියලා. ඒ අනුව ජිම් එකක් තියෙන හෝටලයක තමයි අපි නවාතැන් ගත්තේ. අපි නැවතිලා ඉන්න දින කිහිපයට අදාලව ආහාර ලැබෙන්න ඕනි ආකාරයත් ගිය දවසෙම හෝටලයේ අදාල අංශයට දැනුම් දුන්නා. මොකද සෑහෙන දවසක ඉදලා ආහාර පාලනය කරමින් තමයි එතුමා චිත්‍රපටයේ රූගත කිරීම්වලට සූදානම් වුණේ. ජුලි පළමු වැනිදා ජැක්සන් මහත්තයා බොහෝ වේලාවක් ගත කළේ ජිම් එකේ ව්‍යායාම කරන්න. ජොගින් කරන්නත් සැලකියයුතු කාලයක් වෙන් කළා.” ඉරේෂ් පවසන ආකාරයට රූගත කිරීමකට ගියවිට ජැක්සන් සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ ඒ තුළය. ජුලි පළමු වැනිදා වැඩි කාලයක් ව්‍යායාම කරමින් ඇවිදිමින් ඔහු කළේ පසුදා තිබෙන රූගත කිරීමට සූදානම් වීමය.

ජුලි දෙවැනිදා රූගත කිරීම යෙදී තිබුණේ හැන්දෑවේය. ඒ නිසා ජැක්සන් හත්තිකුච්චි විහාරාරාම සංකීර්ණය ආශ්‍රිත රූගත කිරීම් ස්ථානයට ගියේ ඉර අවරට හැරුණාට පසුවය. ඔහු දිවා ආහාරය ගත්තේත් එතැනදීය. දිවා ආහාරයෙන් පසු රංගනයට අදාල ඇඳුම් ආයිත්තම්වලින් සැරසිනි. රූගත කිරීම් ආරම්භ කෙරුණේ හැන්දෑවේ හයයි තිහට විතරය. එදින ජැක්සන්ට රඟපාන්නට තිබුණේ දැල්වෙන පන්දමක් අතින්ගෙන කන්දක් උඩ සිට සිංහබාහු කියා කෑ ගසන දර්ශණයකි. ජැක්සන්ගේ රංගනය සමග එය සාර්ථකව රූගත කරගත හැකි වූ නිසා සියල්ලන් සිටියේ සතුටින්ය. රූගත කිරීම අවසන් වනවිට රාත්‍රි අටයි පහළොව වී තිබිණි. යළි නවාතැනට යෑමට ජැක්සන් කැබ් රථයට ගොඩවූණේ රංගනයට ඇඳි ඇඳුම් ආයිත්තම් සහ වේශ නිරූපණ ඉවත් කර සාමාන්‍ය ඇඳුමිනි. පිටත් වීමට කලින් හෝටලයට දුරකතනයෙන් අමතා රාත්‍රී ආහාරය සකස්කර තබන්නැයිද දැනුම් දෙනු ලැබිණි.

”රූගත කිරීම් අවසන් කරලා අපි එතැනින් පිටත් වුණේ රෑ අටයි තිහට විතර. රූගත කිරීම් කරපු තැන ඉදලා ප්‍රධාන පාරට එන්න විනාඩි විස්සක් විතර ගියා. අපි ඒ අතුරු පාරෙ ආවෙ කැබ් රියේ ෆොග් ලයිට් දාගෙන. ප්‍රධාන පාරට ආවට පස්සෙ ෆොග් ලයිට් නිවලා සාමාන්‍ය ලයිට්වලට මාරු වුණා. ඔය දවස්වල රටේ තිබුණු ඉන්ධන අර්බුදය, විදුලි අර්බුදය වගේ කාලීන දේවල් ගැන කතා කර කර අපි ආවේ.

එදා කරපු රූගත කිරීම හොඳටම වුණා කියලා ජැක්සන් මහත්තයා හරිම සතුටින් වාහනය පදවාගෙන ආවේ. ඔය විදිහට අනුරාධපුර නගරය දෙසට එනකොට තලාව ටවුන් එක පහුවුණා මට මතකයි. තලාව ටවුන් එක පහුවුණාට පස්සෙ මම මගේ ජංගම දුරකතනයේ ලොකේෂන් ඔන් කර ගත්තා. මම එහෙම කළේ අනුරාධපුර ටවුන් එකේ වටරවුම් ගොඩක් තියෙන නිසා හෝටලය හොයාගන්න පහසු වෙන්න.”

අනතුර වූ දිනවල කියැවුණේ ජැක්සන් පැයට කිලෝ මීටර් අසූවක් අනූවක් වැනි වේගයකින් කැබ් රිය පදවා ඇති බවය. එහෙත් ඉරේෂ් කියන්නේ එයට වෙනස් කතාවකි. ‘ජැක්සන් මහත්තයා කැබ් එක පැදෙව්වෙ පැයට කිලෝ මීටර් හතළිහත් පණහත් අතර වේගයකින්. විදුලි අර්බුදය නිසා ඒ දවස්වල දවසේ එක් එක් වෙලාවල්වලට විදුලිය විසන්ධි කරනවා. අපි එන වෙලාවෙත් තලාව – අනුරාධපුර පාරෙ පහන් කණුවල විදුලිය විසන්ධි කරලා තිබුණේ. ඒ නිසා දැඩි අන්ධකාරය මැද කැබ් රථයේ ලයිට්වල එළියෙන් ආවේ. අනෙක් විශේෂ කාරණය තමයි ජැක්සන් මහත්තයගෙ ඔය කැබ් රථය පැයට කිලෝ මීටර් අසූවක් අනූවක් වගේ වේගයකින් පදවන්න බැහැ. එහෙම පැදෙව්වොත් හීට් වෙනවා. ඒ නිසා අධිවේගී මාර්ගයක යන වෙලාවක වුණත් ඔය කියන තරම් වේගයෙන් කැබ් රථය පදවන්නෙ නැහැ.’

ජැක්සන්, සමන් සමග කතාබහක නිරතව එන අතරේ ඉරේෂ් සිටියේ ජංගම දුරකතනයේ සිතියමට මුහුණ ඔබාගෙනය. ටික දුරක් එලෙස එනවිට සමන් එක් වරම ”පොඩි අයියේ අලියා.. අලියා..” කියා කෑ ගැසීය.

”ළඟට යනකන්ම ජැක්සන් මහත්තයයි සමන් මහත්තයයි අලියා දැකලා තිබුණෙ නැහැ. මම කලින් කියපු විදිහට පාරෙ විදුලි පහන් කණුවල විදුලිය විසන්ධි කරලා තිබුණේ. ඒ හරිය ගෙවල් මණ්ඩියක්. ඒත් ගෙවල්වලටත් විදුලිය නැහැ. වටපිටාවම කළුවරයි. පාර අයිනෙ හිටපු අලියා අපේ කැබ් එකේ ලයිට් එළයට තමයි පාරට පැනලා තියෙන්නේ. එතකොට වාහනේ නවත්වගන්න බැරි තරමට අලියට ළං වෙලා. ජැක්සන් මහත්තයා බ්‍රේක් කරන්න හදනකොට වාහනේ අලියගෙ වැදිල ඉවරයි.

ජංගම දුරකතනයේ තිරයට ඔබාගෙන හිටපු ඔළුව උස්සනකොට මම දැක්කෙ අලියා බොනට්ටුව උඩට වැටෙනවා. එහෙම වැටුණු විදිහටම අලියා බොනට්ටුව උඩ පුංචි වෙලාවක් ඉදලා නැගිට්ටා. හැබැයි එහෙම නැගිට්ටට අලියට තමන්වම පාලනය කර ගන්න බැරි වෙලා ආයෙත් පාරක් කැබ් එක උඩට වැටුණා. දෙවෙනි පාර වැටුණෙ කැබ් එකේ වහළෙ උඩට. ඔය වෙනකොට වාහනේ දඩ දඩ ගගා ගැස්සෙනවා. දෙවෙනි පාර වැටුණට පස්සෙ නැගිටපු අලියා වාහනෙන් ටිකක් එහාට ගියා. අලියා එහෙම ඉන්නව දැකලත් මම ඉක්මනට වාහනෙන් බැස්සා. වාහනෙන් බැහැපු ගමන් මම ජැක්සන් මහත්තයා ළඟට ගියා. බෙල්ල රිදෙනවා ඉරේෂ් කියලා එතුමා එතකොට බොහොම පැහැදිලිව කිව්වා. ජැක්සන් මහත්තයගෙ ඇගේ කිසිම තුවාලයක් වෙලා තියෙනව දැක්කෙත් නැහැ. ඒ වෙලාවෙ මම පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා. හැබැයි අනතුරේ සද්දෙ ඇහිලත් මම කෑගහද්දිත් කවුරුවත් වාහනේ ළඟට ආවෙ නැහැ.

කිසිවෙක් එලෙස කැබ් රථයට ළං වී නැත්තේ ඒ අසළම අලියා සිට ඇති බැවිනි. වාහනය අසළට එනවා වෙනුවට අවට සිටි මිනිසුන් කෑ ගසා ඇත්තේ ඉරේෂ්ට එතැනින් ඉවත් වන්නැයි කියාය. ඒ, අලියාගෙන් ඔහුට යළි ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙනි. ‘මිනිස්සු මට එහෙම කෑ ගැහුවෙ අලිය ළඟ හිටිය නිසා කියලා මම දැන ගත්තෙ පස්සේ. ඒත් ඒ වෙලාවෙ මගෙ ඔළුවෙ වැඩකළේ ජැක්සන් මහත්තයට මොකද වුණේ කියන එක විතරයි. මම ඔය වෙලාවෙ රේණුකා බාලසූරිය මහත්මියට දුරකතන ඇමතුමක් ගත්තා. රූගත කිරීම් කරපු තැන හරියට දුරකතන සංඥා නොතිබුණත් වාසනාවකට වගේ පළමු නාද වීමෙන්ම ඇය දුරකතනයට උත්තර දුන්නා.

මම එතකොට වෙච්ච දේ ගැන කිව්වා. තලාව පහුවුණු බව මතක බවත් රේණුකා මහත්මියට කිව්වා. ඊට පස්සෙ මම ජැක්සන් මහත්තයව වාහනෙන් එළියට ගන්න උත්සාහ කළා. ඔය වෙනකොට අලියා ළඟ පාතක නොහිටි නිසා මිනිස්සුත් ටික ටික වාහනේ ළඟට ළං වුණා. ඒ අයගෙත් උදව්වෙන් ජැක්සන් මහත්තයව වාහනයෙන් එළියට ගත්තට පස්සෙ එතුමගෙ හිස මම මගෙ උකුලෙ තියා ගත්තා. ඒත් එක්කම මට සිහි නැති වුණා. ඊට පස්සෙ ටික වෙලාවකින් මට සිහිය ආවත් සිහිය ආපු වෙලාවෙ ඉදන් රෝහලට ගෙනිහින් ටික වෙලාවක් යනකම් මම හිටියේ අඩ සිහියෙන් වගේ. 

ඉරේෂ් දුන් දුරකතන ඇමතුමට අනුව අනතුර සිදුවූ ස්ථානයට චිත්‍රපට කණ්ඩායමෙන් මුලින්ම පැමිණ තිබුණේ සෝමරත්න දිසානායකය. ඔහු එවිට දුටුවේ අනතුරෙන් හානියට පත් කැබ් රිය සහ ඒ අසළ වැටී සිටින ජැක්සන් සහ ඉරේෂ්ය. ජැක්සන් සහ ඉරේෂ් වහා තමන් පැමිණි වෑන් රථයට දමාගත් සෝමරත්න ඉක්මනින්ම ආවේ අනුරාධපුර රෝහලටය.

සමන් කැබ් රියේ හිරවී සිටි නිසා ඔහු එයින් එළියට ගෙන අනුරාධපුර රෝහල වෙත ගෙනැවිත් තිබුණේ වෙනත් වාහනයකය. ජැක්සන් අනුරාධපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත එදින රාත්‍රියේම මාරුකර යවනු ලැබිණි. ඒ, වෛද්‍යවරු හතර දෙනෙකු ඇතුළු හත් දෙකනුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිතවය.

ඉරේෂ්ගේ හිසේ වූ තුවාලවලට මැහුම් තිස් දෙකක් යොදනු ලැබිණි. ඔහු අනුරාධපුර රෝහලෙන් පිටව ආවේ දින තුනකට පසුවය.

උපුටා ගැනීමකි 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: