hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 2:02



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජැක්සන් ඇන්තනි මහතා ඇගිලි සොලවීම, ඇසි පිය ගැසීම වැනි දේ හරහා හැඟීම් ප්‍රකාශ කළ බව ඔහුගේ පවුලේ ඥාතීන් මෑතකදී මාධ්‍ය වෙත පැවසූවා.

කෙසේවෙතත් මේ වෙනකොට ජැක්සන් ඇන්තනි ජීවිතය අත්හැර ගොස් අවසන්.

ජැක්සන් ඒ තාක් රැඳුනු හේතුව මොකක් වුණත්, ජැක්සන්ගේ ඇත්තම තත්ත්වය ලෝකෙටම අබිරහසක් වුණු බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.

ජැක්සන් දින ගණනාවක් රෝහල්ගතවීම පිටුපස දේශපාලනයක් තිබූ බැව් බොහෝ පාර්ශව එල්ල කරපු චෝදනාවක්. වතාවක් සුදත්ත තිලකසිරි සඳහන් කර තිබුණේ, කුමාරි මුණසිංහ රෝහල් සාකච්ඡාවකදී වෛද්‍යවරුන්ට සෘජුව චෝදනා එල්ල කෙරූ බවයි. ජැක්සන් බලහත්කාරයෙන් රෝහලේ තබා ගැනීම කුමාරිගේ අනුදැනුම පිට සිදුවූවක් බැව් ඔහු සඳහන් කොට තිබුණා.

ඒ නමුත් තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙන්න කුමාරි මුණසිංහට වුවමනා වුණා.

‘මම ජැක්සන් එක්ක විවාහ වුණු දවස.. ඒ වගේම මුලින්ම ආදරෙයි කියපු දවස… මම එක පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව මම හැමදාම ඒ විදිහටම කරනවා. මගේ ජීවිතය තිබෙනතාක් කල් ජැක්සන් මොන විධියෙන් හිටියත් මම එයා වෙනුවෙන් කැපවෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැනුත් මේ ළඟට වෙලා එයා ගැන හොයන්නේ ඒ නිසයි.ඇත්තම කිව්වොත් ජැක්සන්ගේ තත්ත්වය මොකක්ද කියන එක වෛද්‍යවරු මට කියා තිබෙනවා. එකපාරටම සනීප වෙන්නේ නැහැ. කාලයක් ගත වෙනවා. මටත් ලොකු විශ්වාසයක් තිබෙනවා ජැක්සන් සුව වෙන බවට.මේ දේ මට විශ්ව ශක්තියෙන් අනාවැකි කියන අයත් කියා තිබෙනවා. ජැක්සන් මේ වෙද්දි මා දිහා බලන විදිහ වගේම යමක් කියන්න උත්සාහ ගන්න විදිහ අනුව මමත් ඒ ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා.ජැක්සන් හොඳට ඉන්නවා. ඊයේත් මා එක්ක හිනාවුණා. මම යන්නම් කිව්වහම කට යන්තමින් සොලවලා එපා කියනවා වගේ පෙනුණා. ඉතින් මම තරම් ඒවා හොඳට දන්නේ වෙන කවුද? ඇත්තටම මම මේ වෙලාවේ ඔය හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ වැරැදි ප්‍රවෘත්ති සමාජගත කරන්න එපා කියලයි.’ 

අකිල ධනුද්දර වතාවක් තමන්ගේ පියා නිසාම සීමාව ඉක්මවා යනවා. ඔහු‌ගේ තද ප්‍රකාශ බොහෝමයක් උන්ව කෝප ගන්වනවා.

‘එක එක දේවල් කියනවා. ඒවට රැවටෙන්න එපා.අනේ, අපි පොඩි පොඩි දේවල්වලට සතුටු වෙන්නෙ. ඇස් පිල්ලම් ගහන්නෙ නැතුව ඉඳලා ඇස් පිල්ලමක් ගහනවා කියන්නෙ හොඳයි නෙවේද?ඇඟිලි හොලවන්නෙ නැතුව ඉඳලා ඇඟිලි හොලවනවා කියන්නෙ හොඳයි නෙවේද?හෝර්මෝන් ඇඟේ වැඩ කරන්නෙ නැතුව ඉඳලා හෝර්මෝන් දැන් වැඩ කරන්න පටන් ගන්නවා කියන්නෙ හොඳයි නෙවේද?අපි ටික ටික අප්පච්චිව හොඳ කරගෙන යනවා…කරලා පෙන්නන්නම් එදාට කතා කරමු…’

මේ කෙසේවෙතත් ඇඳක් නොලැබීම ගැන කියමින් මවක් තැබූ සංවේදී සටහනකට ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අදාළ ප්‍රතිචාරයට කෝප වුණු බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් අකිල ධනුද්දරට විරෝධය පළ කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුම් වලටත් සටහන් එක්කොට තිබුණා.

මේ වන විට සමාජ මාධ්‍යයේ සිය දියණිය ගැන කියමින් සටහනක් එක් කළ මව, ඇගේ විරෝධය අකිල ධනුද්දරටත් මාධවී වත්සලාටත් සෘජුවම යොමු කරමින් ඔවුන්ගේ නම් ද පෝස්ටුව සඳහා අමුණා තිබුණා.

කාලය වේගයෙන් ගෙවෙනවා. අවදි නොවී ජැක්සන් නින්දට වැටෙනවා. ඇඟිලි හොලවපු ජැක්සන් කෙනෙක් තවදුරටත් නැහැ කියලා හුඟක් උන්ට විශ්වාස කරන්න බැරිවෙනවා.

ඇත්තටම ජැක්සන්ගේ මරණය සුවපහසු එකක් නොකළ වගකීම කාගේ ද? ඒ වරද සිදු කළා නම් ඒ කළේ කුමාරි මුණසිංහද? අකිල ධනුද්දරද? ඒ කවුරුත් නොවේ නම් වෛද්‍යවරුන් ද?

කෙසේවෙටත් “පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: