hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 26, පෙ.ව. 12:04



මැයි මාසය තුළ සිදු වන අවසාන ග්‍රහ යුද්ධය ලෙස 2024 වසරෙහි මැයි 31 වැනිදා පෙ.ව. 11.25ට බුධ සහ යුරේනස් යුද වදියි.

බුධ පරාජයට පත්වී යුරේනස් ජය ගනී.මෙම ග්‍රහ යුද්ධයට පිපිරුම්කාරක ග්‍රහයකු වන යුරේනස් සම්බන්ධ වීමට අනුව මෙම මැයි 31ට ආසන්න දින කිහිපය තුළ රිය අනතුරු සහ වෙනත් හදිසි අනතුරුද ලේ වැගිරීම් ගිනි ගැනීම් සහ අත්වැරදීම්වලින් සිදු වන පිපිරීම් ආදියෙහිද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කෙරෙන බැවින් ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාටත් වඩා පරීක්ෂාකාරීව කටයුතු කළ යුතුය.

මීට අමතර ලෙස ලබන ජුනි 1 වැනිදා ප.ව. 3.36ට කුජ ග්‍රහයා මේෂ රාශිය තුළ ඉතා ප්‍රබල චලිතයක් ආරම්භ කරන අතර ඊට මිනිත්තු 5කට පසු එදිනම එනම් ජුනි 1 වැනිදා ප.ව. 3.41ට තවත් පිපිරුම්කාරක ග්‍රහයකු වන යුරේනස් ග්‍රහයා වෘෂභ රාශිය කරා පිවිසෙයි. මෙම ග්‍රහ චලිතයට අනුවද මැයි 28 වැනිදාත් 2024 වසරෙහි ජුනි 5 වැනිදාත් අතර කාල සීමාව ඉතා භයානක කාල සීමාවක් බැවින් දැඩි ලෙස ප්‍රවේශම් විය යුතු අතර ඒ අතරිනුත් ජුනි 1 වැනිදා ආශ්‍රිතව වඩාත් අවධානයෙන් සිටිය යුතුය.

මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරවලට අනුව මෙම මැයි 28 වැනිදා සිට ලබන මස එනම් ජුනි මස 5 වැනිදා දක්වා කාල සීමාව තුළ ප්‍රබල භූ කම්පන වර්ධනය වීමට, පොළොව සෙලවීම්වලට, ලෝක මට්ටමෙන් සිදු වන බෝම්බ පිපිරීම්වලට ඉඩකඩ ඇති අතර අහස් යානා අනතුරුවලටද යම් ඉඩක් නිර්මාණය වෙයි.

බුධ සහ යුරේනස් අතර ග්‍රහ යුද්ධයෙන් බුධ පරාජයට පත් වීමට අනුව මැයි 31 වැනිදා ආශ්‍රිත දිනවලදී අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි ක්‍ෂේත්‍ර බුද්ධිමතුන්, අධ්‍යාපනවේදීන් සහ මාධ්‍යවේදීන් පිළිබඳව අසුබ ආරංචි පෙන්නුම් කෙරේ.

සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව, ඉහත කාල සීමාව තුළ ආගමික අංශ සම්බන්ධව අසාමාන්‍ය ආරංචිවලට ඉඩ ඇත.

සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව ජුනි 01 දිනට පෙර සහ පසුව එළැඹෙන දින කිහිපය තුළ රටම දන්නා ප්‍රසිද්ධ පුද්ගලයකු පිළිබඳව අසුබ ආරංචියකටද ඉඩකඩ ඇත. තවද මෙම ග්‍රහ ගෝචරවලට අනුව ජුනි 1 වැනිදා ආශ්‍රිත දිනවලදී කුඩා දරුවන් සම්බන්ධවද ශිෂ්‍යයන්, ප්‍රසිද්ධ කලාකරුවන් සහ ප්‍රසිද්ධ කාන්තාවන් සම්බන්ධවද මූල්‍ය ආයතන සම්බන්ධවද, අසුබ ආරංචිවලට ඉඩකඩ ඇත.

මෙම වසරෙහි ජුනි 1 වැනිදා මේෂ රාශිය තුළ ඉතා ප්‍රබල චලිතයක් ආරම්භ කරන කුජ ග්‍රහයා මෙම වසරේ ජූලි 12 වැනිදා දක්වාම තම මේෂ රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව ජුනි 1 වැනිදාත්, ජූලි 12 වැනිදාත් අතර කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල නායකයන්, ත්‍රස්තවාදීන් ඇතුළු සියලුම ආකාරයේ අපරාධකරුවන් සම්බන්ධව අසුබ ආරංචිවලට ඉඩ ඇත.

එමෙන්ම ජුනි 1 වැනිදාත් ජූලි 12 වැනිදාත් අතර කාල සීමාව තුළ නීතිය ශක්තිමත් වීමට ඉඩකඩ ඇති අතර ආන්දෝලනාත්මක නඩු තීන්දුවලට ඉඩකඩ ඇත.

එමෙන්ම ජුනි 1 වැනිදාත් ජූලි 12 වැනිදාත් අතර කාල සීමාව තුළ තරුණ පරපුරෙහි උදේ‍යාගයක් පෙන්නුම් කරන අතර ක්‍රීඩාව සම්බන්ධව ලෝක වාර්තාවක් බිහිවීමටද ඉඩකඩ පවතින බව පෙනේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: