hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 මැයි 09, පෙ.ව. 9:28



කළුතර තාවකාලික නවාතැන්පොළක පස්වන මහලින් බිමට ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 15දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා ඊයේ (07) රාත්‍රී නියම කලා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ මියගිය සිසුවිය සමඟ හෝටලයට ගිය ඇගේ යෙහෙළිය වූ කළුතර නාගොඩ පදිංචි සංගරන්ගේ පබාරා මාවින්දි සහ ඇගේ පෙම්වතා බව කියන කළුතර පදිංචි අරුමාදුර ඉහාන් තිනුර ද සිල්වා, ප්‍රධාන සැකකරුගේ උපදෙස් මත ඔහුගේ මෝටර් රථය රැගෙන ගිය බේරුවල වලතර පදිංචි කවිඳු අංජන ලංකාපුර යන තිදෙනායි.

කළුතර නාගොඩ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක වූ ටිහාරා නිර්මාණි සිල්වා මේ සිද්ධියෙන් මියගිය අතර, ඇය සමඟ හෝටල් කාමරයේ සිටි ප්‍රධාන සැකකරු පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

කළුතර ලැඟුම්හලක පස්වන මහලින් බිමට ඇද වැටී අභිරහස් ලෙස මියගිය බව කියන 16 හැවිරිදි රූමත් පාසල් සිසුවිය සමඟ ලැඟුම්හලට පැමිණි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වාහන අත්පත් කර ගන්නා සීසර් කෙනෙක් බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. සැකකරු විවාහ වී සිටින්නේ ගාල්ලේ කාන්තාවක් සමඟ වන අතර ඇයගෙන් පොලීසිය ප්‍රශ්න කළවිට ඇය පවසා ඇත්තේ තම ස්වාමි පුරුෂයාට හැමතැනම කාන්තාවන් සිටින බවයි.

මේ පුදගලයා රටින් පලා යනු ඇතැයි සැකය මත පොලීසිය විසින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා (07) ඉල්ලා සිටි අතර ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඊයේ (08) දිනයේද එම ඉල්ලීම උසාවියට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

ප්‍රධාන සැකකරු ලැඟුම් හලෙන් පලා ගිය මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගෙන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණිය ඇද වැටීමෙන් පසු ලැඟුම් හලෙන් පලා ගිය සැකකරු බණ්ඩාරගම ගැලනිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන් කර එහි මෝටර් රථය දමා යෑමෙන් පසු රථය රැගෙන පැමිණි ඇති බවට රියැදුරුගේ ප්‍රකාශවලින් තහවුරු වී ඇති බව පොලිසිය සඳහන් කළා.

සිවුදෙනා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පස්වරු 6.20ට පමණ කළුතර ලැඟුම්හලට පැමිණ වායුසමනය කළ සහ නොකළ වශයෙන් කාමර දෙකක් ලබාගෙන ඇති බවත්, ඔවුන් සිවුදෙනාම එකම කාමරයක මත්පැන් පානය කරමින් සිටින අයුරු හෝටල් සේවකයකුගේ ප්‍රකාශවලින් තහවුරු වී ඇති බවත් පරීක්ෂණ පවත්වන නිලධාරීයෙක් පැවසුවා.

හෝටලයේ පැයකට ආසන්න කාලයක් රැඳී සිටි අනෙක් යුවළ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ප්‍රධාන සැකකරු අනෙක් තරුණයාට ‘පාසල් සිසුවිය පහළට ඇඳවැටුණු බවත්, අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන්’ යනුවෙන් උපදෙස් දී ඇති බවත් සඳහන් වෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා මළසිරුර වැටී තිබුණු ස්ථානයට මීටර් 600ක් පමණ පාගමනින් ගොස් රේල්පාරේ තිබූ මළසිරුර අයිනකට ඇද දමා කළුතර දෙසට ගමන් කර ඇතැයි ද පොලිසිය සඳහන් කළා.

නිරුවත් මළසිරුර රේල් පාරෙන් ඉවත් කරන අයුරු හෝටලයේ දෙවන මහලේ ආහාර ගනිමින් සිටි කාන්තාවක දැක ඇති බවද පොලිසිය කියා සිටියා.

කළුතර ශික්ෂණ රෝහලේදී ඊයේ (07) පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. කේ. වෙනුරජිත් මහතා විසින් සිදු කළා.

විමර්ශනය වෙමින් පවතින තීන්දුවක් බවට පත් කරමින් ශරීර කොටස් සහ රුධිර සාම්පල රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා.

ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරක දත් පහර නිරීක්ෂණය වී ඇතැයිද සඳහන් වෙනවා.

කළුතර ලැගුම්හලක පස්වන මහලින් 16 හැවිරිදි පාසල් සිසුවියකත් අභිරහස් ලෙස ඇද වැටී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි 29 හැවිරිදි ප්‍රධාන සැකකරු වන විවාහක පුද්ගලයා මීට සුළු මොහොතකට පෙර දී හික්කඩුව ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: