hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 09, පෙ.ව. 7:35



මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශය වසර ගණනාවක් තිස්සේ ඇවිළෙන්නේ ඥාති පවුල් දෙකක් අතර තිබෙන සරුංගල් ආරවුලක් හේතුවෙන්.

එහි දිග පළල කොතෙක්ද යත් මේ වනවිටත් පවුල් දෙකටම සම්බන්ධ පුද්ගලයන් හත්දෙනකු ලොවෙන් තුරන්ව ගොස් අවසන්.

2017 වසරේ අගෝස්තු 26 වැනිදා ගමන්ගෙදර ප්‍රදේශයේ වෙල්යායකදී සරුංගලයක නූලක් කැපීම මුල්කර ගනිමින් ඥාති සොහොයුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් ඊට මුල් වී තිබෙනවා.

අකලහන්දි ලක්ෂ්මන් පුෂ්පකුමාර ගමන්ගෙදර පදිංචි 51 හැවිරිදි තිදරු පියෙක්.

බොහෝදෙනා ඔහු හඳුවන්නේ ‘රාළහාමි’ යන නාමයෙන්.

සුරේෂ් ජීවන්ත සහ රොෂාන් මධුවන්ත ලක්ෂ්මන්ගේ පුතුන් දෙදෙනායි.

පුතුන් දෙදෙනා, දියණිය හා බිරිය සමග ලක්ෂ්මන් ජීවත් වුණේ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකයි.

එකල කරවල ව්‍යාපාරය කරමින් ජීවිකාව ගොඩනගා ගත් ලක්ෂ්මන් පසුව පොලියට මුදල් ලබාදෙන ව්‍යාපාරයක් ද සිදු කළා.

මෙලෙස ලක්ෂ්මන්ගේ පවුලේ පිරිස සුපුරුදු ජීවන අරගයේ නියැළෙද්දී, පොලිස් ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයන් දෙදෙනකු ඇතුළු හයදෙනකු පසුගිය 6 වැනිදා උදෑසන 06.50ට පමණ මෙම නිවසට පැමිණ ඇත්තේ තමන් පොලිසියෙන් බව පවසමින්.

අනතුරුව නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කියමින් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනාට කුස්සියට යන්නැයි පැවසූ ඔවුහු අතැතිව තිබූ ටී 56 ගිනි අවියකින් වෙඩි තබන්නට පටන් ගෙන තිබෙනවා.

ඒ මොහොතේ රාළහාමි හා පුතුන් දෙදෙනා සිටියේ සාලයේයි.

වෙඩි පහරින් සුරේෂ් ජීවන්ත සහ රොෂාන් මධුවන්ත යන දෙසොහොයුරන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ පියා වූ රාළහාමි මිනුවන්ගොඩ රෝහල වෙත රැගෙන යාමෙන් පසු මරුමුවට පත් වුණා.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඝාතනයට ලක්වූ පුතුන් දෙදෙනාගේ මව සහ නැගණියද නිවසේ සිට ඇති අතර ඔවුන්ට අනතුරක් සිදුවී නැත.

ඝාතකයන් ඔවුන් දෙදෙනා නිවසේ වෙනත් කාමරයකට දමා පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: