hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 07, පෙ.ව. 9:08



මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (06) පෙරවරුවේ කඩා වැදී පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර අනුරාධපුරය බලා පලා යමින් සිටි තිදෙනකු පැය කිහිපයක් ඇතුළත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගලේවෙලදී අත්අඩංගුවට ගනු ලැබ ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ රාජකාරියකට පැමිණි පොලිස් නිලධාරීන් මුවාවෙන් අදාළ නිවෙසේ ‍ෙදාර හැර එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කළ පස් දෙනකුගෙන් යුත් කල්ලියක තිදෙනෙක්.

මෙම ත්‍රිත්ව ඝාතනය සරුංගල් ආරවුලක ප්‍රතිඵලයක් මත සිදුවූවක් බව මේ වන විට කර ඇති මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

ඊයේ (06) උදෑසන පොලිස් නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී පැමිණි කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි වාර්තා වෙනවා.

ඝාතකයන් යතුරුපැදියකින් මෙන්ම මොටෝ රථයකින්ද පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

පොලිස් නිලධාරීන් බව පවසමින් නිවෙසේ ‍ෙදාර විවර කරගෙන ඇති ඔවුන් ඉන් පසුව ටී පනස් හය ගිනි අවියක් උපයෝගි කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් පසු ඝාතකයන් පැමිණි වාහනවලට නැඟී පලාගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ ගමන්ගෙදර පදිංචි අකලහන්දි ලක්ෂ්මන් කුමාර හෙවත් රාලහාමි, ඔහුගේ පුතුන් වන අකලහන්දි සුරේෂ් ජීවන්ත සහ අකලහන්දි රොෂාන් මදුවන්ත යන සොහොයුරන් වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ නිවෙස තුළ මියගිය තිදෙනා සමඟ මව සහ දියණියද සිට ඇති අතර ඔවුනට හානියක් සිදුව නැති බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් විශේෂ කාර්ය බළකා ප්‍රධානියකු කීවේ අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ඊයේ රාත්‍රිය වන තුරුත් ප්‍රශ්න කළ බවත් එහිදී ත්‍රිත්ව ඝාතනයේ වැදගත් තොරතුරු මෙන්ම වෙඩික්කරු පිළිබඳවද තොරතුරු හෙළි වී ඇති බවයි.

සරුංගල් ආරවුලක් මුල් කරගෙන ඇති වූ මෙම මරා ගැනීමෙන් මේ වන විට මිනිස් ඝාතන 7ක් පමණ සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ වෙල්යායක සරුංගල් යැවීමට ගොස් සිටි ඥාතීන් දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් මීට හේතුවී තිබේ. ඒ අනුව 2017 වසරේ අගෝස්තු මස 17 වැනිදා ගමන්ගෙදර පදිංචි කරවල වෙළෙන්දකු වූ 50 හැවිරිදි ලාල් සිල්වා සහ 21 හැවිරිදි සුරාජ් ධනංජය ප්‍රේමසිරි සිල්වා යන පිය – පුතු දෙපළ කපා කොටා ඝාතනය කර තිබුණා.

එම පිය – පුතු ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (06) මියගිය පිය-පුතු දෙපළ පොලිස් අත්අඩංගුවට පත්ව මහාධිකරණ නඩුවකට මුහුණ දී ඇප මත පැමිණ සිටියා.

එමෙන්ම ලාල් සහ සුරාජ් සිල්වා පිය-පුතු ඝාතනයේ තවත් සැකකරුවකු වූ හැටපස් හැවිරිදි විජේසූරිය ජස්ටින් රත්නශීල නමැත්තා 2018 වසරේ අගෝස්තු මස 5 වැනි දින විරුද්ධ පාර්ශ්වය විසින් මිනුවන්ගොඩ යටියන මංසන්ධියේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

ඒ ඝාතනය සම්බන්ධයෙන් ගමන්ගෙදර පදිංචි 23 හැවිරිදි ලක්ෂිත ලක්මාල් සිල්වා නමැති සැකකරුව බන්ධනාගාරගත වූ අතර පසුව මහාධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටියදී 2021 ජුනි මස 20 වැනිදා කොටගෙදර ප්‍රදේශයේදී කපා කොටා ඝාතනය කර තිබුණා.

ඊයේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පිය – පුතු තිදෙනාද වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මීගමුව මහාධිකරණයෙන් ඇප මත මුදාහැර සිටියදීයි.

මෙම තිදෙනා ඝාතනය ලක්ෂිත නමැත්තා ඝාතනය කිරීමට පළිගැනීමක්ද යන්න පොලිසියේ සැකයයි.

ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාලිය පතිරාජසූරිය මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. පී. එන්. කරුණාරත්න ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදුකළද විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බළකා නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: