hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 12, පෙ.ව. 12:06



“ගම්පහ මහානාම හිමි” ඒ නම නොදන්නා වැඩිහිටි කෙනෙක් ලංකාවේ නැති තරම් ය. 

බොහෝ දෙනා උන්වහන්සේගෙන් බණ අසා තිබුණි. ඇත්තෙන්ම ශාසනය තුළ සිටි කාළයේ දී උන්වහන්සේ ශාසනයට ඉමහත් මෙහෙවරක් කරන්නට විය.

පසු කළෙක උන්වහන්සේ ගිහි දිවියට ඇතුළත් විය. ඒ සම්බන්ධව ජනප්‍රිය ගායිකා කේ. සුජීවා මහත්මියගේ නම කියවිනි.

එහෙත් ගම්පහ මහානාම හිමි ශාසනයට නම් පිටු පෑ බවක් දැන ගන්නට නැත. තුණුරුවන් සරණ ගිය උපාසකයෙකු බවම දැන ගන්නට ලැබුණි.

පසුගිය වසරේ අපි කොළඹ ප්‍රදේශයේ විහාරස්ථානයක කඨින ධර්ම දේශනාවකට වැඩම කළෙමි. එවිට දැන ගත්තේ එම කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය ගෙන කටයුතු කරන්නේද කේ. සුජීවා මහත්මිය බවයි. ඇය බොහෝම කැපවීමෙන් එම පිංකම් කටයුතු සිදු කරමින් සිටින බවද මම දුටුවෙමි.

ශාසනය තුළට ඇතුල් වන අයට පැවිදි ජීවිතය ගෙවන්නට වෙනම විනය නීති ක්‍රමයක් තිබේ. ඒ විනය අනුව කටයුතු කරන්නට නොහැකි නම් සිවුරු හැර යෑමට ඕනෑ තරම් ප්‍රතිපාදන තිබේ. ඒ විනය ප්‍රතිපාදන අනුව සිවුරු හැර ගොස් නැවත පැවිදි වීමට ද ඕනෑ තරම් අවශ්ථාව තිබේ. මේ ශාසනය ද “චිත්ත හත්ථ තෙරුන්” හය වරක්ම සිවුරු හැරගොස් හත්වන වර පැවිදිව රහත් වූ ශාසනයකි.

බලහත්කාරයෙන් හිර කර තැබීමක් ඇත්තේම නැත. පුදුම නිදහස් සුවයක් ඇති තැනකි. ගම්පහ මහානාම හිමියන්ගේ හෘද සාක්ෂිය අගය කළ යුත්තකි. පැවිදිව සිට ධර්ම විනය දැන ඉගෙන ගෙන, දේශනාද කර, පසුව ගිහි වූ අය, ගිහි පින්වතුන් අතර සිටීම ශාසනයට ලාභයකි. ගිහි අයට ද හොඳ කළ්‍යාණමිත්‍රත්වයකි. පැවිදිව සිටි කාළයේදි දානය පූජා කළ අයටද ලැබුණ කුසල් නැති වන්නේ නැත. අපි පින්බත් දුන්නා යැයි බනින්නට එපා. ඔබ පින් කම් කරගත් කාළයේදී ඇති වූ සිත් වලට කුසල විපාක ලැබේ. ඒවා අහිමි නොවේ. දැන් බනින විට ඇති කර ගන්නා අකුසල් සිත් වලටද අනාගතයේ දී අකුසල විපාක ලැබේ.
රුවන්වැල්ල, ගෝනගල්දෙණිය, වහරක, කිතුල්ගහකන්ද දම්සක් විහාරස්ථානයේ වැඩ වසමින් එකළ ගම්පහ මහානාම හිමියන් දෙස් විදෙස් ලෙස බොහෝ ජනතාවගේ දහම් පිපාසය සංසිඳවන්නට කටයුතු කළහ. ඒ කාළසීමාව තුළ උන්වහන්සේ බොහෝ පින් රැස් කර ගන්නට ඇති.

ශාසනයෙන් ඉවත් වන්නට ගත් තීරණය උන්වහන්සේගේ අයිතිය යි. එම අවස්ථාව ලබා දුන්නේ භාග්‍යවතුන් වහන්සේයි. ඉන් පසුවත් කඨින පූජාදී මහා පිංකම් කළ ආකාරය අපද දෑසටම දකින්නට විය.

සසුන තුළ කළ පිනුත්, ගිහිව කළ පිනුත් බොහෝ ඇති. පෙර සසර අකුසල කර්මත් තියෙන්න ඇති.

අනපේක්ෂිතව ජීවිතය හැර ගියත් ධර්මයත් කර්මයත්, ශාසනයත් නොදන්නා අය කුමක් කීවත්, නයන වාසුල (ගම්පහ මහානාම හිමි) ඔබ කළ පින් බොහෝ බව දන්නෝ දනිති. ඔබට ඉක්මන් භවයකදීම උතුම් නිවන් සැප ලැබේවා !

කරුණු නොදන්නා අසත්පුරුෂ මිනිසුන් මේ අවස්ථාවේත් පවුම කර ගන්නේ ඇයි?

තපෝවනයේ රතන ස්වාමින් වහන්සේගෙනි
(උපුටා ගැනීම – සමාජ ජාලා)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: