hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 03, පෙ.ව. 5:47



පවුල හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට බිරියගේ සිරුරේ වශී තෙලක් ගැල්විය යුතු බව පවසා දේවාලයකට ගෙන්වාගත් කාන්තාවක් දූෂණයට ලක් කළ බව පැවසෙන ව්‍යාජ කට්ටඬියකු පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, දීපංගොඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා හෝමාගම, දීපංගොඩ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් වශී ගුරුකම් හරහා පවුල හැර ගිය සැමියා, බිරිය, දරුවා ගෙන්වා දෙන බවට ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ අනුව හෝමාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි ගාල්ල ප්‍රදේශයේ 44 හැවිරිදි රූමත් කාන්තාවක් පසුගිය දා එම දේවාලයට පැමිණ ඇත්තේ ඇය හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට වශී ගුරුකමක් කරවා ගැනීමේ අරමුණින් බව පොලිසිය පවසනවා.

ඒ අනුව පළමු දිනයේදී සැකකරු ආරූඪයෙන් ශාස්ත්‍රයක් කියා හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට නම් බිරියගේ සිරුරේ වශී තෙලක් ආලේප කොට ජප කළ යුතු බව පවසා ඇති අතර, ඊට එකඟ වූ කාන්තාව වශී ගුරුකම කරවා ගැනීමේ අරමුණින් වෙනත් දිනයකදී දේවාලයට ගොස් තිබුණා.

එහිදී සැකකරු දෙවාලයේ ආවතේව ආරම්භ කොට ඒ තුළ අධික ලෙස ධූමය පතුරුවා වශී ගුරුකම ආරම්භ කරමින් කාන්තාවගේ සිරුරේ ස්ථාන රැසක තෙල් ආලේප කිරීමේ මුවාවෙන් ලිංගික අතවර කිරීමට පටන් ගෙන තිබෙනවා.

එහිදී කාන්තාව විරෝධය පළ කිරීමත් සමඟ සැකකරු ඇයව දේවාලය තුළදීම සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලිසිය කියයි.

එහිදී සැකකරු කාන්තාව සපා කෑමට ද ලක් කර ඇති බවත් දූෂණයට ලක් වන අවස්ථාවේදී කාන්තාවගේ සිරුරේ ස්ථාන කිහිපයක තුවාල වී ඇති බවත් පැවසෙනවා.

පසුව එම ස්ථානයෙන් පැන ගත් කාන්තාව හෝමාගම පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර, ඒ අනුව නිලධාරී කණ්ඩායමක් දේවාලයට ගොස් එහි රැඳී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු දෙදරු පියකු වන අතර, ඔහුගේ බිරිය මීට වසර 2කට පමණ පෙර ඔහු හැරගොස් ඇති බවද පැවසෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අජන්තා මහත්මියගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: